ගැබ්ගෙල පිළිකා හඳුනා ගැනීමට අති නවීන කොල්පොස්කොපි යන්ත්‍ර 18ක්

ගැබ්ගෙල පිළිකා කල්තියා හඳුනා ගැනීම සහ ප්‍රතිකාර සේවාවන් කාර්යක්ෂම කිරීම අරමුණු කරගනිමින්, අති නවීන කොල්පොස්කොපි යන්ත්‍ර 18ක් මෙරට රෝහල් පද්ධතියට එක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. ඉන් යන්ත්‍ර 12ක් මේ වන විටත් ස්ථාපිත කර අවසන් වන අතර, ඉතිරි යන්ත්‍ර 06 ලබන ජූනි මාසය තුළ ස්ථාපිත කිරීමට සැලසුම් කර තිබේ. මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 114කට අධික මුදලක් වැය කර ඇත.​අනුරාධපුර, බදුල්ල, මඩකලපුව, යාපනය, කුරුණෑගල, මහනුවර, ගම්පහ, මාතර, මොණරාගල, පුත්තලම, හම්බන්තොට සහ ද සොයිසා කාන්තා රෝහල යන ආයතනවල මෙම යන්ත්‍ර මේ වන විටත් ක්‍රියාත්මක වේ. ජූනි මාසයේදී අම්පාර, රාගම, කළුතර, කුලියාපිටිය, මාතලේ සහ වව්නියාව යන රෝහල්වලට නව යන්ත්‍ර හිමි වනු ඇත. මීට අමතරව, රෝහල්වල පැවති පැරණි යන්ත්‍ර පහක් ද ප්‍රතිස්ථාපනය කර ඇත.​මෙම නව යන්ත්‍ර ස්ථාපිත කිරීමත් සමඟ රාජ්‍ය රෝහල් පද්ධතියේ පවතින මුළු කොල්පොස්කොපි යන්ත්‍ර ප්‍රමාණය 33ක් දක්වා ඉහළ යනු ඇත. මෙයින් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි කාන්තාවන් සඳහා අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර පහසුකම් ලබා දීම අමාත්‍යාංශයේ අපේක්ෂාවයි.​කොල්පොස්කොපි යන්ත්‍රය යනු ගැබ්ගෙල සහ යෝනි මාර්ගය තුළ පවතින අසාමාන්‍යතා විශාලනය කර සවිස්තරාත්මකව නිරීක්ෂණය කිරීමට භාවිතා කරන විශේෂිත උපකරණයකි. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් විසින් මෙම යන්ත්‍ර භාවිත කරමින් පිළිකා පූර්ව අවධියේදී පවා රෝගී තත්ත්වයන් හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර සිදු කරනු ලබයි.​ජාතික පිළිකා මර්දන වැඩසටහන පෙන්වා දෙන පරිදි, මානව පැපිලෝමා වයිරසය (HPV) මගින් බෝවන මෙම පිළිකාව කල්තියා හඳුනා ගැනීමෙන් වළක්වා ගත හැකිය. වාර්ෂිකව මෙරටින් නව රෝගීන් 1200ක් පමණ වාර්තා වන අතර, නිසි ප්‍රතිකාර නොලැබීම හේතුවෙන් රෝගීන් 180ක් පමණ ජීවිතක්ෂයට පත්වන බව දත්ත පෙන්වා දෙයි. මෙම නව ආයෝජනය එම තත්ත්වය වෙනස් කිරීමට මහත් පිටුබලයක් වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 1,156

Leave A Reply

Your email address will not be published. Required fields are marked *