නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා තමන් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා තහවුරු කරයි. පොලිස් විශේෂ කාර්ය බළකායේ (STF) හිටපු අණදෙන නිලධාරියෙකු ද වන ඒ මහතා මෙවැනි ඉල්ලීමක් කර ඇත්තේ තමන් වෙත එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් පවතින කරුණු නිවැරදිව පැහැදිලි කරගැනීමේ අරමුණින් වන අතර, අදාළ විමර්ශනය කඩිනමින් සිදුකිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.මෙම ඉල්ලීමට පෙර, සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට එල්ල වූ පැමිණිල්ලක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව කැඳවා තිබුණි. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පැය හතරකට ආසන්න කාලයක් තිස්සේ ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව ද වාර්තා වේ.

























