ඉන්දීය සිනමා ලොවේ සුපිරි තරුවක වන තලපති විජේ හෙට දිනයේදී තමිල්නාඩු ප්‍රාන්තයේ නව ප්‍රධාන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව තිබේ. ප්‍රාන්ත ආණ්ඩුකාර රාජේන්ද්‍ර විශ්වනාත් ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදුකිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති අතර, විජේගේ නායකත්වයෙන් යුත් ටී.වී.කේ. (TVK) පක්ෂයේ නියෝජිතයින් අද දිනයේදී ආණ්ඩුකාරවරයා හමුවී රජයක් පිහිටුවීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතය.පසුගියදා පැවති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයෙන් ආසන 108ක් දිනාගත් ටී.වී.කේ. පක්ෂය, ප්‍රාන්තයේ බලය පිහිටුවීම සඳහා අවශ්‍ය ආසන 118ක බහුතරය සම්පූර්ණ කරගැනීමට මේ වන විටත් සෙසු පක්ෂ කිහිපයක් සමඟ සාකච්ඡා පවත්වමින් සිටියි. විශේෂයෙන්ම ඉන්දීය කොංග්‍රස් පක්ෂය විජේගේ පක්ෂය සමඟ සන්ධානගතව රජයක් පිහිටුවීමට මේ වන විටත් සිය කැමැත්ත පළ කර ඇති බව දේශපාලන වාර්තා සඳහන් කරයි.මෙවර මැතිවරණ ප්‍රතිඵලය තමිල්නාඩු දේශපාලනයේ දැවැන්ත පෙරළියක් සනිටුහන් කළේ දශක පහකට ආසන්න කාලයක් ප්‍රාන්ත දේශපාලනයේ ආධිපත්‍යය දැරූ එම්.කේ. ස්ටාලින්ගේ නායකත්වයෙන් යුත් ඩී.එම්.කේ. (DMK) පක්ෂය දැඩි පසුබෑමකට ලක් කරමිනි. මෙවර ඩී.එම්.කේ. පක්ෂයට ලබාගත හැකි වූයේ ආසන 59ක් පමණක් වන අතර, භාරතීය ජනතා පක්ෂය සමඟ සන්ධානගත වූ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. (AIADMK) පක්ෂයට හිමිවූයේ ආසන 47ක් පමණි.සිනමාවෙන් දේශපාලනයට පිවිසි විජේ, සිය ප්‍රථම ප්‍රධාන මැතිවරණ සටනින්ම මෙවැනි ජයග්‍රහණයක් වාර්තා කිරීම ඉන්දීය දේශපාලන කරළියේ දැඩි අවධානයට ලක්ව තිබේ. තමිල්නාඩු ජනතාව සිය සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරමින් නව මුහුණුවරක් සහිත නායකත්වයක් කෙරෙහි විශ්වාසය තැබීම මෙම ප්‍රතිඵලයෙන් මනාව පැහැදිලි වන බව විචාරකයෝ පවසති.

























