කටපාඩම් කර විභාග සමත්වන සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව වෙනුවට, ප්‍රායෝගික කුසලතා සහ නවෝත්පාදනයන්ට මුල්තැන දෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් රටට හඳුන්වා දීමට රජය පියවර ගනිමින් සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. වත්මන් සහ අනාගත ලෝකයට ගැළපෙන පරිදි දරුවන් නව තාක්ෂණයෙන් හා දැනුමෙන් සන්නද්ධ කිරීම උදෙසා අවශ්‍ය සියලු පහසුකම් සැලසීමට රජයක් ලෙස උපරිමයෙන් කැපවන බව ද ඇය අවධාරණය කළාය.අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළේ බලංගොඩ විද්‍යාලෝක විද්‍යාලයේ පැවැති විශේෂ උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි. එහිදී පාසල් දරුවන්ගේ නිර්මාණශීලී කුසලතා සහ නව නිපැයුම් අතුළත් “අරුමැසිය” ප්‍රදර්ශනය විවෘත කළ ඇය, සිසුන් දැක්වූ සුවිශේෂී දක්ෂතා ඇගයීමට ලක් කිරීමට ද අමතක නොකළාය.මෙම සංචාරයට සමගාමීව විද්‍යාලෝක විද්‍යාලයේ යටිතල පහසුකම් නැංවීම වෙනුවෙන් යෝජිත නව තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම ද අග්‍රාමාත්‍යවරියගේ සුරතින් සිදුවිය. පාසල් පද්ධතිය තුළ භෞතික මෙන්ම ගුණාත්මක පරිවර්තනයක් ඇති කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ මෙම සංවර්ධන කටයුතු ක්‍රියාත්මක වේ.

























