තැපැල් සේවයේ නව බඳවාගැනීම්: උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192කට ස්ථිර පත්වීම්

​ශ්‍රී ලංකා තැපැල් සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින්, වැඩබලන උප තැපැල් ස්ථානාධිපතිවරුන් 192 දෙනෙකු සඳහා ස්ථිර පත්වීම් ලබා දීමට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කර ඇත. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (18) කොළඹ ප්‍රධාන තැපැල් මූලස්ථානයේදී පැවැත්වෙන විශේෂ උත්සවයකදී මෙම පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ. 2020 ඔක්තෝම්බර් 15 දිනට පෙර සේවයේ නියුතු ව සුදුසුකම් සපුරා ඇති නිලධාරීන් වෙනුවෙන් මෙම පත්වීම් ලබා දෙන අතර, මේවා විශ්‍රාම වැටුප් හිමි ස්ථිර තනතුරු වේ.​මෙම පියවරට සමගාමීව, උප තැපැල් කාර්යාල පවත්වාගෙන යන ගොඩනැගිලි සඳහා රජය මගින් ගෙවනු ලබන දීමනාව පසුගිය අප්‍රේල් මාසයේ සිට රුපියල් 7,500 දක්වා ඉහළ නංවා තිබේ. පසුගිය වසර දෙකක කාලය තුළ තැපැල් සේවයේ මානව සම්පත ශක්තිමත් කිරීම වෙනුවෙන් විවිධ පත්වීම් රැසක් සිදුකර ඇති අතර, ඒ අනුව මීට පෙර තැපැල් සේවා නිලධාරී ශ්‍රේණිවලට නව පත්වීම් ප්‍රදානය කෙරුණු අතර ඉතිරි පුරප්පාඩු සඳහා ඉදිරි ජූලි මාසයේදී පත්වීම් ලබා දීමට නියමිතය.​1921 වර්ෂයේදී උප තැපැල් කාර්යාල හයකින් ආරම්භ වූ මෙරට තැපැල් ජාලය, අද වන විට දිවයින පුරා උප තැපැල් කාර්යාල 3,410ක් දක්වා ව්‍යාප්ත වී ඇත. මෙලෙස සිදුකරන අඛණ්ඩ බඳවාගැනීම් සහ සේවා පහසුකම් වැඩිදියුණු කිරීම් මගින් තැපැල් දෙපාර්තමේන්තුවේ ගුණාත්මකභාවය සහ සේවක සුබසාධනය ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරයි. එමෙන්ම, මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු දිවයින පුරා සේවයේ නියුතු ලියාපදිංචි ආදේශකයින් ස්ථීර කිරීම සහ නව තැපැල් රියදුරන් බඳවා ගැනීම ද මෙම වැඩපිළිවෙළේ කොටසක් ලෙස පසුගිය කාලසීමාව තුළ සිදුකෙරිණි.

What's your reaction?

Related Posts

1 of 1,193

Leave A Reply

Your email address will not be published. Required fields are marked *