දඹදිව වන්දනාකරුවන් සඳහා නොමිලේ වීසා පහසුකම අඛණ්ඩව

ඉන්දියාවේ දඹදිව ඇතුළු පූජාභූමි වැඳපුදා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකික බෞද්ධයින්ට හිමිවන නොමිලේ වීසා (Gratis visa) පහසුකම කිසිදු වෙනසකින් තොරව අඛණ්ඩව ක්‍රියාත්මක වන බව කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිල වශයෙන් නිවේදනය කර ඇත. වීසා සේවා සපයන ආයතනය මාරු වීම හේතුවෙන් මෙම ක්‍රියාවලිය මඳකට ඇනහිට තිබුණද, නව ආයතනය සිය රාජකාරි කටයුතු ඇරඹීමත් සමඟම අදාළ නොමිලේ වීසා නිකුත් කිරීමේ වැඩපිළිවෙළ යළි සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කර තිබේ.​බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ විශේෂ නිර්දේශය යටතේ අවම වශයෙන් සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විත සංචාරක කණ්ඩායම්වලට මෙම නොමිලේ වීසා ලබාගැනීමේ අවස්ථාව හිමිවේ. වන්දනාකරුවන්ට e-visa ක්‍රමය හරහා හෝ කොළඹ, මහනුවර, යාපනය, හම්බන්තොට සහ මඩකලපුව යන නගරවල පිහිටි ඉන්දීය වීසා අයදුම්පත් මධ්‍යස්ථාන (ICAC) වෙත අන්තර්ජාලය ඔස්සේ තොරතුරු යොමු කරමින් මේ සඳහා අයදුම් කළ හැකිය.​කෙසේ වෙතත්, නව රෙගුලාසිවලට අනුව වයස අවුරුදු 12 ත් 70 ත් අතර සෑම වන්දනාකරුවෙකුම අදාළ මධ්‍යස්ථානය වෙත පැමිණ ජෛවමිතික තොරතුරු ලබාදීම අනිවාර්ය කර ඇත. මෙහිදී වැඩිහිටි පුරවැසියන් අපහසුතාවට පත්වීම වැළැක්වීම සඳහා විශේෂ ඉක්මන් සේවාවක් හඳුන්වා දී ඇති අතර, වීසා ගාස්තු කිසිවක් අය නොකෙරෙන නමුත් අයදුම්පත් හැසිරවීම වෙනුවෙන් මධ්‍යස්ථානයට රුපියල් 1,855 ක සුළු සේවා ගාස්තුවක් පමණක් අය කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,257

Leave A Reply

Your email address will not be published. Required fields are marked *