දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැරට කාවඩි නර්තන අංගය ඇතුළත් කිරීම සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලුකාරී තත්ත්වය විසඳීම සඳහා වන අවසන් තීරණය අද (27) පස්වරුවේ ගැනීමට නියමිත බව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් පවසයි. මෙම තත්ත්වය නිරාකරණය කරගැනීම පිණිස මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් කැඳවා ඇති බව ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය, මාතර දිසාපති චන්දන තිලකරත්න සහ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම සාකච්ඡාව සඳහා එක්වීමට නියමිතය.මීට වසර 35ත් 40ත් අතර කාලයක සිට දෙවිනුවර පෙරහැරට කාවඩි නර්තනය එක්වී තිබුණද, මෑතකදී එහි දැඩි විනය පිරිහීමක් පෙන්නුම් කර ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම, සමහර නර්තන ශිල්පීන් අශෝභන අයුරින් අඩ නිරුවතින් පෙනී සිටීම සහ අධික ලෙස මත්පැන් පානය කර පෙරහැරට සම්බන්ධ වීම වැනි කරුණු ප්‍රධාන ගැටලු ලෙස මතු වී ඇත.ඒ හේතුවෙන් විනය විරෝධී පිරිස් ඉවත් කර බස්නායක නිලමේවරයා යටතේ විශේෂ සංගමයක් හරහා පිරිසකට පමණක් අවස්ථාව ලබාදීමට තීරණය කිරීමත් සමඟ පාතාල කණ්ඩායම් අතර නොසන්සුන්තා මතුව තිබේ. කෙසේ වෙතත්, 1896 අංක 13 දරන වන්දනාගමන් ආඥා පනතට අනුව පෙරහැරේ පරිපාලන බලතල හිමිව ඇත්තේ දිසාපතිවරයාට වන අතර, පොලිසියේ වගකීම වන්නේ එහි ආරක්ෂාව තහවුරු කිරීම පමණක් බව ද වැඩිදුරටත් කියා සිටියේය.























