මෙම වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 94,292ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් එනම් 29,962ක් වාර්තා වී ඇත්තේ ගත වූ ජූලි මාසය තුළ වන අතර, අගෝස්තු මාසයේ ගෙවී ගිය කෙටි දින කිහිපය තුළ පමණක් තවත් රෝගීන් 8,956ක් හඳුනාගෙන ඇත.පළාත් මට්ටමින් පවතින තත්ත්වය සැලකීමේදී, සමස්ත රෝගීන්ගෙන් 52.92කට අධික ප්‍රතිශතයක් (රෝගීන් 49,901ක්) බස්නාහිර පළාතෙන් පමණක් වාර්තා වී තිබීම විශේෂත්වයකි. මීට අමතරව, දකුණු පළාතෙන් රෝගීන් 13,779ක් සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 8,551ක් වශයෙන්ද සෙසු ප්‍රදේශවලින් ද රෝගීන් වාර්තා වීම අඛණ්ඩව සිදුවෙමින් පවතී.දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු අවදානමක් පෙන්නුම් කරන්නේ ගම්පහ දිස්ත්‍රික්කය වන අතර, එහි රෝගීන් 20,081ක් වාර්තා වී ඇත. තවද, කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,709ක්, මහනුවරින් 6,846ක්, මාතරින් 6,099ක් සහ කළුතරින් 6,093ක් ලෙස සෙසු දිස්ත්‍රික්කවලින් ද සැලකිය යුතු රෝගීන් සංඛ්‍යාවක් හමුවී ඇති බැවින් සෞඛ්‍ය අංශ ජනතාවගෙන් දැඩි විමසිල්ලෙන් සිටින ලෙස ඉල්ලා සිටියි.



























