දිවයිනේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 48,000 ඉක්මවයි: රෝහල් ධාරිතාවද උපරිමයට

ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගීන්ගේ වාර්තා වීම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, මේ වන විට මුළු රෝගීන් සංඛ්‍යාව 48,287 දක්වා කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබේ. ඩෙංගු මර්දන ඒකකයට අනුව මේ දක්වා මරණ 29ක් වාර්තා වී ඇති අතර ජූනි මාසයේ ගතවූ කාලය තුළ පමණක් රෝගීන් 14,446 දෙනෙකු හඳුනාගෙන ඇත. මේ වන විට කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක අධි අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර, රෝගීන්ගේ අධික වර්ධනය හේතුවෙන් රෝහල් රැසක ධාරිතාව ද ඉක්මවා ගොස් තිබේ.​තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ මැදිහත් වී අද සිට ලබන 26 වනදා දක්වා තෙදින විශේෂ මදුරු මර්දන වැඩසටහනක් අධි අවදානම් පළාත්වල ක්‍රියාත්මක කර ඇත. මීට අමතරව, කොළඹ නගර සභාව ඉදිරිපිට ඩ්‍රෝන තාක්ෂණය යොදාගනිමින් මදුරු ස්ථාන සෙවීම, හෝමාගම සහ ගොතටුව යන ප්‍රදේශවල වෙළඳසැල් හා පරිශ්‍ර පරීක්ෂා කිරීම මෙන්ම ගම්පහ නගරය කේන්ද්‍ර කරගත් ශ්‍රව්‍ය-දෘශ්‍ය පිරිසිදු කිරීම් ද සිදුවේ. එසේම, ගාල්ල මාපලගම ප්‍රදේශයේ පාසල් දරුවන් එක්ව ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් ද පවත්වා තිබේ.​කෙසේ වෙතත්, මහජනතාවගෙන් ලැබෙන සක්‍රීය දායකත්වය තවමත් ප්‍රමාණවත් නොවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පෙන්වා දෙයි. බත්තරමුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයක මීට පෙර අධිකරණ ක්‍රියාමාර්ග ගත් ස්ථාන පවා ඒ අයුරින්ම පවත්වාගෙන යෑම හේතුවෙන් රෝගීන් පොකුරු ලෙස වාර්තා වීම තවමත් සිදුවේ. මේ හේතුවෙන්, ඉදිරියේදී ඩෙංගු මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන යන පාසල් සහ පූජනීය ස්ථාන වෙත ද කිසිදු අවවාද කිරීමකින් තොරව සෘජුවම නීතිය ක්‍රියාත්මක කිරීමට බලධාරීන් තීරණය කර ඇත.​ඩෙංගු ව්‍යාප්තිය මර්දනයට අවශ්‍ය තොරතුරු සහ උපදෙස් ලබාදීම සඳහා සෞඛ්‍ය අංශ විසින් විශේෂ “ඩෙංගු මෙහෙයුම් මැදිරියක්” ද ස්ථාපිත කර තිබේ. මහජනතාවට, මාධ්‍යවේදීන්ට මෙන්ම ස්වේච්ඡා සේවකයන්ට 0117966366 යන දුරකථන අංකය ඔස්සේ මෙම මැදිරිය හා සම්බන්ධ විය හැකිය. ඒ අනුව සඳුදා සිට සිකුරාදා දක්වා පෙ.ව. 8.00 සිට ප.ව. 5.00 දක්වාත්, සෙනසුරාදා දිනවල පෙ.ව. 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වාත් මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ තොරතුරු වාර්තා කිරීමට සහ අවශ්‍ය මඟපෙන්වීම් ලබාගැනීමට අවස්ථාව සලසා ඇත.

What's your reaction?

Related Posts

1 of 1,203

Leave A Reply

Your email address will not be published. Required fields are marked *