බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි අපේක්ෂා කළ හැකි අතර, අනුරාධපුරය, මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලට වැසි ස්වල්පයක් ලැබිය හැක. මීට අමතරව, අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවල සවස 2 සිට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි වුවද, දිවයිනේ ඉතිරි ප්‍රදේශවල සාමාන්‍යයෙන් වියළි කාලගුණයක් පවතියි.මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, ත්‍රිකුණාමලය, මොණරාගල, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40 ත් 50 ත් අතර ප්‍රබල සුළං ඇති වීමේ හැකියාවක් පවතී.ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලිකව ඇතිවිය හැකි ප්‍රබල සුළං සහ අකුණු උවදුරු නිසා සිදුවිය හැකි අනතුරු වළළා ගැනීමට අවශ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කරන ලෙස කාලගුණ අංශ ජනතාවට දන්වා සිටියි.



























