දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වර්ෂාපතනයත් සමඟ දිස්ත්‍රික්ක 12ක් සඳහා නායයාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන ඇත. අද (14) පස්වරු 4.00 සිට හෙට (15) පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ. මෙහිදී ගාල්ල, කළුතර, කුරුණෑගල සහ රත්නපුර යන දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ සඳහා ‘දෙවන මට්ටමේ’ (Amber) වඩාත් විමසිලිමත් විය යුතු අනතුරු ඇඟවීම් බලපැවැත්වේ.ඒ අනුව දෙවන මට්ටමේ අවදානම පවතින නෙලුව, අගලවත්ත, බදුරලිය, මතුගම, හොරණ, වලල්ලාවිට, අලව්ව, පැල්මඩුල්ල සහ රත්නපුර යන ප්‍රදේශවල ජනතාව නායයාමේ පූර්ව ලක්ෂණ පිළිබඳ දැඩි අවධානයෙන් පසුවිය යුතුය. මීට අමතරව බදුල්ල, කොළඹ, මහනුවර, කෑගල්ල, මාතලේ, මාතර, මොනරාගල සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා ‘පළමු මට්ටමේ’ (Yellow) අවදානම් නිවේදන නිකුත් කර ඇති අතර, එම ප්‍රදේශවල ජනතාව ද විමසිලිමත් වීම අත්‍යවශ්‍ය වේ.විශේෂයෙන්ම මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක් මෙම අවදානම් කලාපවලට ඇතුළත් කර ඇති බැවින්, කඳුකර බෑවුම් සහ පස් කන්ඩි ආශ්‍රිතව පදිංචි පිරිස් වඩාත් කල්පනාකාරී විය යුතුය. පොළොව මතුපිට ඉරිතැලීම්, ගස් හෝ විදුලි කණු ඇලවීම් වැනි අසාමාන්‍ය ලක්ෂණ දක්නට ලැබෙන්නේ නම් වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වීමට පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.

























