දිස්ත්‍රික්ක 14ක විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමෙන් අවදානම් ස්ථාන රැසක් හඳුනාගැනේ

පසුගිය ජූනි 08 වැනිදා සිට 10 වැනිදා දක්වා දිස්ත්‍රික්ක 14ක් කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වූ තෙදින විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනේදී පරිශ්‍ර 97,871ක් පරීක්ෂාවට ලක් කර තිබේ. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 72ක් ආවරණය වන පරිදි ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම මෙහෙයුම දියත් කෙරිණි. ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, පරීක්ෂා කරන ලද ස්ථාන අතුරින් පරිශ්‍ර 6,268ක ඩෙංගු මදුරු කීටයන් සිටින බව තහවුරු වී ඇති අතර, තවත් පරිශ්‍ර 25,626ක් මදුරුවන් බෝවීමේ අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.​මෙම සොයාගැනීම්වලට අනුව වැඩිම මදුරු කීටයන් ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ කර්මාන්තශාලා (32.9%) සහ ඉදිකිරීම් බිම් (21.8%) ආශ්‍රිතවය. මීට අමතරව පරීක්ෂාවට ලක්කළ නිවාස 89,417ක් අතරින් නිවාස 5,250ක ද කීටයන් සිටින බව අනාවරණය වී තිබේ. මේ අනුව මදුරුවන් බෝවන අයුරින් අවට පරිසරය පවත්වාගෙන ගිය පුද්ගලයන් වෙනුවෙන් රතු නිවේදන 3,348ක් නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.​සෞඛ්‍ය උපදෙස් පැහැදිලිවම පැහැර හරිමින් කටයුතු කළ පරිශ්‍ර හිමියන් 2,401 දෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද මෙහිදී කටයුතු කර තිබේ. පවතින අවදානම් තත්ත්වය සලකා බලා, තම නිවාස සහ අවට පරිශ්‍රයන් නිරන්තරයෙන් පිරිසිදුව තබාගැනීමට වගබලාගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,183

Leave A Reply

Your email address will not be published. Required fields are marked *