ඓතිහාසික දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන ඇසළ මහා පෙරහැර මංගල්‍යයට අයත් කාවඩි නර්තන අංගය මෙවර පෙරහැරෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත. රාජ්‍ය බුද්ධි අංශ මගින් ලබාදුන් ආරක්ෂක තක්සේරු වාර්තා පදනම් කරගනිමින්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කළ ලිඛිත නිල දැනුම්දීමට අනුව මාතර දිස්ත්‍රික් ලේකම් චන්දන තිලකරත්න මහතා විසින් දෙවිනුවර බස්නායක නිලමේවරයා වෙත මෙම නියෝගය නිකුත් කර තිබේ.මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇත්තේ කාවඩි කණ්ඩායම් තෝරාගැනීමේදී සංවිධානාත්මක පාතාල කල්ලි කිහිපයක් අතර හටගෙන ඇති උණුසුම් මතභේදාත්මක තත්ත්වයයි. ජූලි 28 වන දින පැවැත්වෙන මෙම පෙරහැර නැරඹීමට 40,000කට ආසන්න ජනකායක් පැමිණීමට නියමිත අතර, පාතාල ගැටුම් හෝ ඩ්‍රෝන තාක්ෂණය භාවිතයෙන් ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට බුද්ධි අංශ විසින් අනතුරු අඟවා ඇත. එමගින් සිදුවිය හැකි මහජන කැළඹීම් සහ ජීවිත හානි වළක්වා ගැනීම මෙහි ප්‍රධාන අරමුණයි.වසර 40කට පමණ පෙර දෙවිනුවර පෙරහැරට එක්වූ මෙම කාවඩි අංගයේ ඇතැම් පිරිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් අශෝභන ලෙස හැසිරීම හේතුවෙන් මෑතකාලීනව මහජන අප්‍රසාදයක්ද ගොඩනැගී තිබිණි. ඒ අනුව 1896 අංක 13 දරන වන්දනා ගමන් ආඥා පනතින් පැවරී ඇති බලතල ප්‍රකාරව, මහජන ආරක්ෂාව සහ සාමය තහවුරු කිරීම උදෙසා අදාළ බලධාරීන් විසින් මෙම ආරක්ෂිත පියවර ගෙන තිබේ.























