මෙරට ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීම උදෙසා දෛනිකව සිදුකරන සහල් පරිභෝජනය සීමා කිරීම අත්‍යවශ්‍ය වී ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මෙහෙයවූ ‘Agri Taste 2026’ ආහාර ප්‍රදර්ශනයේ සමාප්ති අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.ශ්‍රී ලාංකිකයන් අතර දියවැඩියාව වැනි බෝ නොවන රෝග ශීඝ්‍රයෙන් ඉහළ යාමට ප්‍රධානතම හේතුවක් වී ඇත්තේ දවසේ වේල් තුනටම බත් ආහාරයට ගැනීමට ජනතාව හුරු වී සිටීම බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඒ අනුව, එම සාම්ප්‍රදායික ආහාර රටාවෙන් මිදී එක් අයෙකු දිනකට ලබාගන්නා බත් ප්‍රමාණය අඩු කර, ඒ වෙනුවට වෙනත් විකල්ප පෝෂණීය ආහාර එකතු කරගත යුතු බව ඔහු අවධාරණය කළේය.සහල් සෘජුව ආහාරයට ගන්නවා වෙනුවට, සහල් අමුද්‍රව්‍යයක් ලෙස යොදාගනිමින් නිපදවන විවිධ විකල්ප ආහාර ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවයද ඔහු පෙන්වා දුන්නේය. එමඟින් දෛනික බත් පංගුව අඩු කරමින් වඩාත් සමබල සෞඛ්‍ය සම්පන්න ආහාර සංස්කෘතියක් රට තුළ ගොඩනැගිය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

























