පල්ලේගම හේමරතන හිමියන්ගේ DNA සාම්පල ලබාගන්නා ලෙස අනුරාධපුර මහේස්ත්‍රාත්ගෙන් නියෝගයක්

බාල වයස්කාර දැරියක බරපතළ ලෙස අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන හිමියන්ට ලබන ජූනි මස 16 වන දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය නියෝග කර තිබේ. එහිදී උන්වහන්සේගේ DNA පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය රුධිර සාම්පල ලබා දීමට පියවර ගන්නා ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා අද (12) දින නියම කළේය.​නිට්ටඹුව පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලද වාර්තාවකට අනුව, අපයෝජනයට ලක්වූ දැරිය විසින් සඟවා තිබියදී සොයාගත් රුධිරය තැවරුණු ඇඳුම් කිහිපයක් සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා මීට පෙර පරීක්ෂණ පවත්වා තිබුණි. එහිදී එම ඇඳුම්වල “DNA ඇලීල අන්තර්ගතව ඇති බව” තහවුරු වී ඇති අතර, එම සාම්පල සැකකාර හිමිනමගේ DNA සමඟ සැසඳෙන්නේදැයි විද්‍යාත්මකව තහවුරු කරගැනීම සඳහා මෙම රුධිර සාම්පල ලබා ගැනීමට නියෝග කෙරුණි. අදාළ පරික්ෂණ වාර්තාව කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද රස පරීක්ෂකවරයාට දැනුම් දී ඇත.​මෙම අපයෝජන චෝදනාවලට අදාළව මීට පෙර බන්ධනාගාරගත කර සිටි පල්ලේගම හේමරතන හිමියන් මේ වන විට දැඩි ඇප කොන්දේසි මත මුදාහැර සිටියි. මෙම සිදුවීම මුල් කරගනිමින් උන්වහන්සේ දැරූ අටමස්ථානාධිපති ධුරය මෙන්ම නුවරකලාවිය ප්‍රධාන සංඝනායක පදවිය ද ඉකුත් වෙසක් පොහොය දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මහා සංඝරත්නය පියවර ගෙන තිබුණි.

What's your reaction?

Related Posts

1 of 1,185

Leave A Reply

Your email address will not be published. Required fields are marked *