පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පවතින විමර්ශන සඳහා හිටපු බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා තමන් සතු තොරතුරු වගකීමෙන් යුතුව හෙළිදරව් කළ යුතු බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (16) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේ, හිටපු බුද්ධි නිලධාරියෙකු ලෙස කරුණු සඟවා තබා ගැනීම වෙනුවට විමර්ශනවලට පූර්ණ සහයෝගය ලබා දීම වඩාත් උචිත බවයි.විමර්ශන කටයුතු අඩපණ කිරීමට හෝ නිලධාරීන් මාරු කිරීමට උත්සාහ නොකර, තමන් සතු ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන වැනි උපකරණවල ඇති දත්ත විමර්ශන අංශ වෙත ලබා දෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය. මෙවැනි තොරතුරු හෙළි කිරීම හරහා ප්‍රහාරය සම්බන්ධයෙන් සාධාරණ සහ පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි ද ඔහු පෙන්වා දුන්නේය.රඳවා සිටින සලේ මහතාට ලබා දී ඇති පහසුකම් පිළිබඳ මාධ්‍ය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, ඔහුට කිසිදු විශේෂ සැලකිල්ලක් හෝ වරප්‍රසාද ලබා දී නොමැති බවයි. පවතින රීතීන්ට අනුව රැඳවුම් නියෝග ක්‍රියාත්මක වන අතරතුරම, අසනීප තත්ත්වය හේතුවෙන් ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සහ මානුෂීය පහසුකම් රජය විසින් ලබා දී ඇත. රෝහල්ගතව ප්‍රතිකාර ලබන අවස්ථාවලදී පවුලේ උදවියට ඔහුව බැලීමට සහ ආහාරපාන ලබා දීමට අවශ්‍ය අවසරය ද හිමිව තිබේ.



























