හෝමාගම, පිටිපන, මාහේනවත්ත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ‘තාක්ෂණික නගර ව්‍යාපෘතිය’ හේතුවෙන් එම කලාපයට දෛනිකව පැමිණෙන ජනතාව සඳහා ප්‍රවාහන පහසුකම් වර්ධනය කිරීමට රජය තීරණය කර ඇත. දැනටමත් හරිත සරසවිය, කොළඹ හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල තාක්ෂණ පීඨයන් මෙන්ම නැනෝ තාක්ෂණ ආයතනය ඇතුළු ආයතන රැසක් මෙහි ස්ථාපිත කර තිබේ. මේ හේතුවෙන් දිනකට 50,000කට ආසන්න පිරිසක් මෙම කලාපයට පැමිණෙන අතර, ඉදිරියේදී එම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.පවතින දැඩි වාහන තදබදයට පිළියමක් ලෙස කලාපයේ ප්‍රධානතම මාර්ගයක් වන පිටිපන-තලගල මාර්ගය කඩිනමින් සංවර්ධනය කිරීමට ප්‍රමුඛතාව ලබා දී ඇත. ඒ අනුව, දැනට පවතින අඩි 30ක් පමණ වූ පටු මාර්ග කොටස මංතීරු දෙකකින් යුත් පුළුල් මාර්ගයක් ලෙස නවීකරණය කිරීමට නියමිතය. මෙම සංවර්ධන කටයුතු විශේෂයෙන්ම පාසල් හන්දියේ සිට පෙළපොත් ගබඩාව දක්වා වූ මාර්ග කොටස ආවරණය වන පරිදි සිදු කෙරේ.නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ යටිතල පහසුකම් නැංවීම වෙනුවෙන් අදාළ මාර්ගය පුළුල් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් ඒකාබද්ධව ඉදිරිපත් කළ යෝජනාවකට අනුව මෙම සංවර්ධන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට නියමිතය.

























