පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට පූර්ව බුද්ධි තොරතුරු ලැබී තිබියදීත්, සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නඩුවේ තීන්දුව එළඹෙන ජූලි මස 31 වනදා ප්‍රකාශයට පත් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (12) තීරණය කළේය. ප්‍රියන්ත ලියනගේ, විරාජ් වීරසූරිය සහ තිලකරත්න බණ්ඩාර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව කැඳවුණු අතර, එහිදී අදාළ පාර්ශවයන්ගේ වාචික හා ලිඛිත දේශන ඉදිරිපත් කර අවසන් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කෙරිණි.මේ අතර, එම චෝදනා යටතේම ගොනු කර තිබෙන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහි නඩුවද අද දින ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා මහතා කරුණු දැක්වූ අතර, විත්තිකාර හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරළ මහතා පෙනී සිටිමින් සිය දේශන ඉදිරිපත් කිරීම සිදු කරන ලදී.දෙපාර්ශවයේ කරුණු දැක්වීම් සලකා බැලූ විනිසුරු මඩුල්ල, විත්ති පාර්ශවය වෙනුවෙන් සිදු කෙරෙන වැඩිදුර දේශන ඉදිරිපත් කිරීම ලබන 15 වන සඳුදා දින දක්වා කල් තැබීමට නියෝග කළේය. ඒ අනුව හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ නඩු විභාගය ඉදිරි දින කිහිපය තුළ යළිත් මහාධිකරණය ඉදිරියේ දිග හැරීමට නියමිතය.

























