ශ්‍රී ලංකාවේ බස් රථ ප්‍රවාහන සේවාව වඩාත් ක්‍රමවත් කිරීම අරමුණු කරගනිමින්, අලුතින් ‘බස් රථ ක්ෂේත්‍ර පොකුරුකරණ’ (Bus Sector Clustering) නියමු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව, මූලික පියවරක් ලෙස 170, 177 සහ 190 යන මාර්ග අංක ආවරණය වන ප්‍රවාහන කොරිඩෝව තුළ අදාළ පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත ඉදිරියේදී එය අනෙකුත් ප්‍රදේශවලටද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇත.දැනට පවතින බස් රථ සේවා ව්‍යුහය තුළ රියදුරන් අතර පවතින අධික තරගකාරිත්වය සහ කාලසටහන් පවත්වා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් මගීන් මෙන්ම මාර්ග භාවිත කරන්නන්ද විවිධ අපහසුතාවන්ට ලක්වේ. විශේෂයෙන්ම මාර්ගවල අනවශ්‍ය ලෙස බස් රථ වැඩිවීම, රථවාහන තදබදය සහ සම්පත් අකාර්යක්ෂම ලෙස භාවිතා වීම වැනි ගැටලු රැසක් මෙරට පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ දැකගත හැකි වී තිබේ.මෙම ගැටලුවලට විසඳුමක් ලෙස ලොව දියුණු රටවල බහුලව භාවිත කරන මෙම පොකුරුකරණ ක්‍රමවේදය හඳුන්වා දීමට පියවර ගෙන ඇත. මෙහිදී තනි තනිව සිදු කෙරෙන බස් මෙහෙයුම් ඒකාබද්ධ කර, කලමනාකරණය කරන ලද සේවා පොකුරක් ලෙස ක්‍රියාත්මක කිරීම සිදුවේ. එමගින් බස් රථ සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීමටත්, දැනට පවතින මෙහෙයුම් සහ සමාජයීය ගැටලු අවම කර ගනිමින් මගීන්ට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීමටත් හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.























