දිවයින තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඩෙංගු රෝග අවදානම පාලනය කිරීමේ පියවරක් ලෙස, පාසල් සිසුන්ට තම අත් සහ පාද ආවරණය වන පරිදි සුදුසු වෙනත් ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවසර ලබා දී ඇත. පවතින සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත්, ඒ පිළිබඳව දිවයිනේ සියලුම විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ප්‍රකාශ කළේය. මීට අමතරව, රජයේ සහ පෞද්ගලික පාසල් පරිශ්‍රයන් තුළ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමේ වැඩසටහන් දෙමාපියන් සහ ආදි සිසුන්ගේ සහභාගිත්වයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලෙස ද උපදෙස් දී තිබේ.මේ අතර වසංගත තත්ත්වය මැඩපැවැත්වීම සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය ද විශේෂ ක්‍රියාමාර්ග රැසක් දියත් කර ඇත. ඒ අනුව හඳුනාගත් ඩෙංගු අධි අවදානම් කලාප 60ක් කේන්ද්‍ර කරගනිමින් හෙට (13) සිට විශේෂ මදුරු මර්දන සතියක් ආරම්භ කිරීමට නියමිතය. මෙම පුළුල් මෙහෙයුම හරහා රෝග ව්‍යාප්තිය උපරිමයෙන් පාලනය කිරීමට සෞඛ්‍ය බලධාරීන් අපේක්ෂා කරයි.විශේෂයෙන්ම ඉහළම අවදානමක් පවතින බස්නාහිර පළාතේ ප්‍රදේශ 23ක් ඉලක්ක කරගනිමින් පසුගිය ඉරිදා සිටම මදුරු මර්දන කටයුතු කඩිනම් කර තිබේ. ජනාධිපති කාර්යාලයේ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහනේ පූර්ණ සම්බන්ධීකරණය ඇතිව ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ, පාසල් දරුවන් ඇතුළු සමස්ත ප්‍රජාවගේම ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අංශවල නිරන්තර අධීක්ෂණය යටතේ සිදු කෙරේ.























