2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්වලාභීන් මාර්ගගත ක්‍රමයට ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය නිවේදනය කරයි. ලලිත් ඇතුලත්මුදලි මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල මඟින් අවසාන තේරීම් ලේඛනය මේ වන විටත් අදාළ විශ්වවිද්‍යාල වෙත යවා ඇති අතර, තේරී පත් වූ සිසුන්ට 2026 අගෝස්තු 17 වැනි දිනට පෙර සිය ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කර අදාළ වෙබ් අඩවිය ඔස්සේ ලියාපදිංචිය සිදු කරගත හැක.මාර්ගගත ලියාපදිංචිය අවසන් කිරීමෙන් අනතුරුව, අදාළ මුද්‍රිත අයදුම්පතට අත්සන් තබා, බැංකු ගිණුම තහවුරු කිරීමේ ලේඛනයක් හෝ බැංකු පොතේ පිටපතක් සමඟ එය තම විශ්වවිද්‍යාලයට භාර දිය යුතු වේ. මෙහිදී ශිෂ්‍යත්ව මුදල් බැර කරනු ලබන්නේ සිසුවාගේ නමින් පවතින ලංකා බැංකුවේ හෝ මහජන බැංකුවේ තනි ගිණුමකට පමණක් වන අතර, ඒකාබද්ධ ගිණුම් පිළිගනු නොලැබේ. එසේම ලියාපදිංචියේදී ලබා දෙන බැංකු තොරතුරු පසුව වෙනස් නොකිරීමටත්, වලංගු දුරකථන අංකයක් සහ විද්‍යුත් තැපැල් ලිපිනයක් ලබා දීමටත් සිසුන් වගබලා ගත යුතුය.මෙවර ශිෂ්‍යත්වය සඳහා තේරී පත් නොවූ සිසුන් වෙතොත්, ඔවුන්ගේ අභියාචනා 2026 ඔක්තෝබර් 15 දිනට පෙර අදාළ විශ්වවිද්‍යාල හරහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත යොමු කළ යුතු බව ද මහපොළ අරමුදල වැඩිදුරටත් දන්වා සිටියි.























