ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) දත්ත ගණනය කරන ක්‍රමවේදය වෙනස් කිරීමත් සමඟ, මෙරට සංචාරක ඉපැයීම් වාර්තා යළි යාවත්කාලීන කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ. මෙම නව සංශෝධනයට අනුව 2026 වසරේ ජනවාරි මාසයේ සිට මැයි මාසය දක්වා කාලය තුළ මෙරට ලැබූ සමස්ත සංචාරක ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.36ක් (මිලියන 1,360ක්) ලෙස සටහන් වේ. මෙයින් මැයි මාසය තුළ පමණක් උපයා ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 155.7කි.මීට පෙර නිකුත් කර තිබූ වසරේ මුල් මාස හතරේ දත්ත ද මෙම ක්‍රමවේදය යටතේ ඉහළ ගොස් ඇත. ඒ අනුව ජනවාරි ආදායම ඩොලර් මිලියන 413.8ක් දක්වාත්, පෙබරවාරි ආදායම ඩොලර් මිලියන 381.4ක් දක්වාත් සංශෝධනය කර තිබේ. එමෙන්ම මාර්තු සහ අප්‍රේල් මාස සඳහා වූ ඉපැයීම් පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් මිලියන 244.8ක් සහ මිලියන 164.3ක් ලෙස නවතම දත්ත වාර්තාවල දැක්වේ.විදේශීය සංචාරකයන්ගේ දෛනික සාමාන්‍ය වියදම්, ඔවුන් ලංකාවේ රැඳී සිටින කාලය සහ පැමිණීම් පිළිබඳ දේශීය දත්ත වඩාත් නිවැරදිව උපයෝගී කර ගැනීම මෙම වෙනසට හේතු වී ඇත. මෙලෙස ගණන ක්‍රමවේදයන් යාවත්කාලීන කිරීම හරහා සංචාරක කර්මාන්තයෙන් රටේ ආර්ථිකයට සිදුවන සැබෑ බලපෑම පිළිබඳ වඩාත් පැහැදිලි හා විශ්වාසදායක චිත්‍රයක් ලබා ගැනීමට මහ බැංකුව අපේක්ෂා කරයි.



























