වසරේ ගතවූ මාස හයකට ආසන්න කාලය තුළ මෙරටින් ඩෙංගු මරණ 23ක් වාර්තා වී ඇති අතර, සමස්ත රෝගීන් සංඛ්‍යාව 40,443 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. මියගිය පිරිස අතර කුඩා ළමුන් සිව්දෙනෙකු ද වන අතර, වාර්තා වන සමස්ත රෝගීන්ගෙන් අඩක්ම (50%) බස්නාහිර පළාතෙන් හඳුනාගෙන තිබේ. විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් පමණක් සමස්ත රෝගීන්ගෙන් 25.8%ක් වාර්තා වීම හේතුවෙන් එය අධි අවදානම් කලාපයක් ලෙස නම් කර ඇති අතර ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර සහ මහනුවර යන දිස්ත්‍රික්කවල ද ශීඝ්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. පවතින වර්ෂාපතනය, වෛරසයේ ස්වභාවය සහ අවට පරිසරයේ පවතින අපිරිසිදු කානු පද්ධති මෙන්ම නිසි පරිදි අපද්‍රව්‍ය බැහැර නොකිරීම මදුරුවන් බෝවීමට ප්‍රධාන වශයෙන් බලපා ඇත.මෙවර රෝගීන් බහුලවම වාර්තා වන්නේ සාමාන්‍ය නිවාසවලින් නොව පාසල්, රාජ්‍ය හා පෞද්ගලික ආයතන මෙන්ම ආගමික ස්ථාන වැනි පොදු පරිශ්‍රයන්ගෙන් වීම විශේෂත්වයකි. මෙම තත්ත්වය පාලනය කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කෙරුණේ, ජුනි මස 15 වනදා සිට 21 වනදා දක්වා කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන සතියක් ක්‍රියාත්මක කිරීමටයි. මේ යටතේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන, පාසල් සහ නිවාස අවට කලාප පිරිසිදු කිරීමේ ශ්‍රමදාන සංවිධානය කිරීමටත්, අධි අවදානම් ස්ථාන පරීක්ෂා කර නීතිමය පියවර ගැනීමටත් කටයුතු සූදානම් කර තිබේ.දින දෙකකට වඩා පවතින තද උණ, හිසරදය, වමනය සහ ශරීරයේ වේදනාව වැනි ලක්ෂණ පවතී නම් ප්‍රමාද නොවී වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී. තවද, පාසල් පරිශ්‍ර පිරිසිදු කිරීමේ කටයුතු සඳහා 10 ශ්‍රේණියට පහළ කුඩා සිසුන් සම්බන්ධ කර නොගන්නා ලෙස උපදෙස් දී ඇති අතර, යම් හෙයකින් පාසල් සිසුවෙකුට ඩෙංගු රෝගය වැළඳී ඇති බවට තහවුරු වුවහොත් ඒ පිළිබඳව වහාම අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (MOH) කාර්යාලය දැනුවත් කරන ලෙස ද දන්වා ඇත.



























