රුපියල් ලක්ෂ 730කට අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් අයථා ලෙස අත්පත් කරගැනීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත උල්ලංඝනය කළ බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති නඩුව අද (09) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ විභාගයට ගැනුණි. නීතිපතිවරයා විසින් පවරා ඇති මෙම නඩුවට අදාළව අධිකරණය නිකුත් කළ සිතාසිවලට අනුව සාක්ෂිකරුවන් හයදෙනෙකු අද දින පෙනී සිටි අතර, ඉන් යසාරා අබේනායක, වසන්ත ජයසූරිය සහ එඩ්නා ලුෂන් රත්නායක ඇතුළු සිව්දෙනෙකු පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි සපයන ලදී.අද දින සාක්ෂි විභාගය අවසන් වීමෙන් අනතුරුව, මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ නඩුවේ ඉදිරි කටයුතු ලබන ජුලි 17 වැනිදා දක්වා කල් තැබීමටයි. එදිනට සාක්ෂි විභාගය සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස තවත් සාක්ෂිකරුවන් 13 දෙනෙකු වෙත නව සිතාසි නිකුත් කිරීමට ද පියවර ගැනුණි.මෙම නඩු විභාගය සඳහා පැමිණිල්ල පාර්ශවයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා සමඟ රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා පෙනී සිටි අතර, විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් කරුණු දක්වන ලදී.























