ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම වෘත්තීය සමිතියක් වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සිය 100 වැනි සංවත්සරය උත්කර්ෂවත් අන්දමින් සමරනු ලැබීය. “ජාතිය සුවපත් කිරීමේ සියවසක්” යන තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සැමරුම් උත්සවය පැවැත්විණි. 1926 වසරේදී ආරම්භ කරන ලද මෙම සංගමය, දශක දහයක් පුරා මෙරට වෛද්‍යවරුන්ගේ අයිතිවාසිකම් සහ පොදු මහජන සෞඛ්‍යය වෙනුවෙන් ඉටුකළ මෙහෙවර මෙහිදී ඇගයීමට ලක්විය.මෙම ඓතිහාසික අවස්ථාව සනිටුහන් කරමින් විශේෂ සමරු මුද්දරයක් නිකුත් කිරීම සහ සංගමයේ නවීකරණය කරන ලද නිල වෙබ් අඩවිය යළි ජනගත කිරීම ද සිදුකෙරිණි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත වෛද්‍ය රාජේෂ් සම්භාජි රාඕ පාණ්ඩව් මහතා මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ අතර, සංගමයේ ගමන් මග සහ ජාත්‍යන්තර සහයෝගීතාවය පිළිබඳව එහිදී අදහස් හුවමාරු විය.උත්සවය සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු දේශපාලන ක්ෂේත්‍රයේ පිරිසක් මෙන්ම හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ද එක්ව සිටියහ. මීට අමතරව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ සාමාජික වෛද්‍යවරුන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැති මෙම වැඩසටහන, මෙරට වෘත්තීය සමිති ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සනිටුහන් විය.

























