මෙවර අලුත් අවුරුදු උත්සව සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) ලැබූ අතිමහත් මූල්‍ය ලාභයේ ප්‍රතිලාභ සිය මගී ජනතාව සමඟ බෙදා ගැනීමට පියවර ගෙන ඇත. ඒ අනුව, අප්‍රේල් මස 09 වනදා සිට 21 වනදා දක්වා කාලය තුළ ලංගම බස් රථවල ගමන් ගත් මගීන් වෙනුවෙන් විශේෂ දිනුම් ඇදීමක් පවත්වා වටිනා ත්‍යාග පිරිනැමීමට කටයුතු සූදානම් කර ඇති බව එහි සභාපති සජීව නන්දන කනකරත්න මහතා නිවේදනය කළේය.මෙම සුවිශේෂී තීරණයට පදනම වී ඇත්තේ අලුත් අවුරුදු නිවාඩු සමයේ දින 6ක් වැනි කෙටි කාලයක් තුළ රුපියල් බිලියනයක ආදායමක් උපයා ගැනීමට මණ්ඩලයට හැකි වීමයි. එම වාර්තාගත ආදායම සැමරීමක් ලෙසත්, මගී ජනතාව දක්වන ලද සහයෝගයට උපහාරයක් ලෙසත් මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීමට පාලනාධිකාරිය තීරණය කර තිබේ.ඒ අනුව, අදාළ කාලසීමාව තුළ තමන් ගමන් ගත් බස් ටිකට් පත ඉදිරි දිනුම් ඇදීම් කටයුතු සඳහා ඉතා සුරක්ෂිතව ළඟ තබා ගන්නා ලෙස ලංගම සභාපතිවරයා මගී ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. මෙම වැඩසටහන මගින් මගීන්ට වටිනා තෑගි දිනා ගැනීමට මෙන්ම ලංගම සේවාව කෙරෙහි ජනතා ආකර්ෂණය වැඩි කිරීමටත් අපේක්ෂිතය.
























