ලිංගාශ්‍රිත රෝග හඳුනාගැනීම සඳහා දිවයින පුරා නව ජංගම සායන වැඩසටහනක්

ලිංගාශ්‍රිත රෝග සහ HIV/AIDS වැනි ආසාදන කල්තියා හඳුනා ගනිමින් ඒවායේ ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් විශේෂ ජංගම සායන වැඩසටහනක් ආරම්භ කර තිබේ. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන (NSACP) මගින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය, ප්‍රජාව අතරටම ගොස් සේවාවන් ලබාදීම අරමුණු කරගනී. මෙම වැඩසටහන පිළිබඳව අද (13) අමාත්‍යාංශයේදී විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්විණි.​පසුගිය ජනවාරි මාසයේ නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ වූ මෙම වැඩසටහන, දැනට කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් සාර්ථකව ක්‍රියාත්මක වේ. සාමාන්‍ය සෞඛ්‍ය සේවා වෙත යොමු වීමට මැලිකමක් දක්වන ඉහළ අවදානම් සහිත පුද්ගලයින් වෙත ළඟා වීම මෙම ජංගම ඒකකවල මූලික අරමුණයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ලක්ෂ්මේන්ද්‍ර දමයන්ත්කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී වැඩසටහනේ වැදගත්කම පිළිබඳව කරුණු පැහැදිලි කෙරිණි.​ශ්‍රී ලංකාවේ HIV ව්‍යාප්තිය අඩු මට්ටමක පැවතිය ද, මෑත කාලීනව ලිංගාශ්‍රිත රෝග සහ හෙපටයිටිස් රෝගීන් වාර්තා වීමේ යම් ඉහළ යාමක් නිරීක්ෂණය වේ. විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය සඳහන් කළේ, අනාරක්ෂිත ලිංගික හැසිරීම් සහ මත්ද්‍රව්‍ය එන්නත් කිරීමේදී උපකරණ හවුලේ භාවිතා කිරීම වැනි අවදානම් චර්යාවන් පාලනය කිරීම අත්‍යවශ්‍ය බවයි. මෙවැනි චර්යාවන්හි නිරත වන්නන් තමන් සෞඛ්‍ය සම්පන්න බව සිතා වෛද්‍ය පරීක්ෂණ මගහරින බැවින්, ඔවුන් වෙත ළඟා වීමට මෙම ජංගම ඒකක ඉතා සාර්ථක ප්‍රවේශයක් වනු ඇත.​මෙම ජංගම සායන හරහා රෝග පරීක්ෂණ නොමිලේ සිදු කරන අතර, රෝගී තත්ත්වයක් හඳුනාගතහොත් ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ද නොමිලේ ලබාදීමට පියවර ගෙන ඇත. විශේෂයෙන්ම පරීක්ෂණ වාර්තාවල පෞද්ගලිකත්වය සහ රහස්‍යභාවය උපරිමයෙන් ආරක්ෂා කිරීමට සෞඛ්‍ය අංශ කටයුතු යොදා තිබේ. දිවයිනේ දිස්ත්‍රික්ක 15ක පුහුණු කළ ප්‍රජා සේවකයින් 120 දෙනෙකු මේ සඳහා සම්බන්ධ කරගෙන ඇත.​ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නදීකා ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, රජයේ අධීක්ෂණය යටතේ සිදු කෙරෙන මෙම වැඩසටහන හරහා ජනතාව දැනුවත් කිරීම සහ ඔවුන්ව පරීක්ෂණ සඳහා යොමු කිරීම සාර්ථකව සිදු කෙරෙන බවයි. මෙම සායන මගින් HIV, STI සහ හෙපටයිටිස් පිළිබඳ උපදේශන සේවා, කොන්ඩම් සහ ලිහිසි කාරක බෙදා හැරීම, මත්ද්‍රව්‍ය හානි අවම කිරීමේ සේවා සහ හෙපටයිටිස් B එන්නත ලබාදීම වැනි පුළුල් සේවාවන් රැසක් සපයයි.​ප්‍රජා සායන පැවැත්වෙන ස්ථාන සහ ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ ප්‍රජා සේවකයින් සම්බන්ධ කරගත හැක. මීට අමතරව, 0716379192 යන දුරකථන අංකය ඇමතීමෙන් ද මේ පිළිබඳව අවශ්‍ය තොරතුරු සහ මගපෙන්වීම් ලබාගත හැකි බව අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දෙයි.

What's your reaction?

Related Posts

1 of 1,234

Leave A Reply

Your email address will not be published. Required fields are marked *