රට තුළ ඇති සියලුම විද්‍යුත් වාහන වෙනුවෙන් කොළ පැහැති පසුබිමකින් යුත් විශේෂ සැලසුමකින් යුතු නව අංක තහඩු නිකුත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්, විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉඳුනිල් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ විදුලි වාහන සඳහා හඳුන්වා දී ඇති මෙම කොළ පැහැති අංක තහඩු සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලව වලංගු වන බවයි. කෙසේ වෙතත්, සෙසු සාමාන්‍ය වාහන සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ සුදු සහ කහ පැහැති අංක තහඩු නිකුත් කිරීමේ ක්‍රමවේදය අඛණ්ඩව ඉදිරියටත් ක්‍රියාත්මක වන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.මේ අතර, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ලියාපදිංචි කරන ලද වාහන 88,740ක් සඳහා අවශ්‍ය නව අංක තහඩු සකස් කොට අවසන් කර ඇත. මීට 2023 සහ 2024 යන වසරවලදී ලියාපදිංචිය ලැබූ වාහන 32,507ක් මෙන්ම, 2026 වසරේ ජුනි 10 වැනි දින සිට අගෝස්තු 31 වැනි දින දක්වා කාලසීමාව තුළ ලියාපදිංචි කරන ලද වාහන 56,233ක් සඳහා වන අංක තහඩුද ඇතුළත් වන බව කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කළේය.ඉහත සඳහන් කළ කාල සීමාවන් තුළ වාහන ලියාපදිංචි කළ හිමිකරුවන්ට නාරාහේන්පිට පිහිටි ප්‍රධාන මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලය වෙත පැමිණෙන ලෙස දන්වා සිටින අතර, අදාළ අංක තහඩු එහිදී ලබාගත හැකි බවට දෙපාර්තමේන්තුව විසින් දැනුම් දී ඇත.



























