ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර රතු කුරුස කමිටුවේ (ICRC) ඉදිරි ක්‍රියාකාරීත්වයන් සහ මානුෂීය මැදිහත්වීම් පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ශ්‍රී ලංකාවේ ICRC නියෝජිත ප්‍රධානී ඇන්ජලීක් ඇපෙරූ මහත්මිය අතර විශේෂ හමුවක් කොළඹ දී පවත්වා තිබේ. සංවිධානයේ මීළඟ පියවර සහ මැදිහත්වීම් සම්බන්ධයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව සංවිධානය කර ඇත.පසුගිය යුද ගැටුම් හේතුවෙන් මෙරට ඉතිරිව ඇති මානුෂීය ගැටලු විසඳීම සඳහා ස්ථාවර ජාතික හැකියාවන් වර්ධනය කර ගැනීමේ වැදගත්කම මෙහිදී මූලික වශයෙන් දෙපාර්ශ්වයේම අවධානයට ලක් විය. විශේෂයෙන්ම, අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුල්වලට අවශ්‍ය තොරතුරු ලබාදීම, අධිකරණ වෛද්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාව ඉහළ නැංවීම මෙන්ම රාජ්‍ය ආයතන අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කර ඇත.මෙම සාකච්ඡාවේදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේ, යුද්ධය අවසන් වුවද එහි මානුෂීය ප්‍රතිවිපාක තවමත් පවතින බවත්, ආදරණීයයන් අහිමි වූ පවුල්වලට ඔවුන්ගේ ජාතිය හෝ ආගම නොසලකා සාධාරණත්වය සහ ගෞරවය හිමිවිය යුතු බවත්ය. එම අභියෝගවලට වෘත්තීයමය හා අපක්ෂපාතී ආකාරයෙන් මුහුණ දිය හැකි ශක්තිමත් දේශීය ආයතනික රාමුවක අවශ්‍යතාව ද ඔහු මෙහිදී අවධාරණය කළේය.1989 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ICRC සංවිධානය මෙරට මානුෂීය අවශ්‍යතා වෙනුවෙන් ලබා දී ඇති අඛණ්ඩ දායකත්වය පිළිබඳව විපක්ෂ නායකවරයා මෙහිදී සිය ස්තූතිය පළ කළේය. ඉදිරියටත් ජාත්‍යන්තර මානුෂීය නීතීන්ට ගරු කරමින් සහ අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පවත්වමින් පවතින ගැටලුවලට සාධනීය විසඳුම් සෙවීමට අවශ්‍ය සහයෝගීතාව ලබා දෙන බවට මෙහිදී එකඟතාව පළ වී තිබේ.



























