යල කන්නයේ වී වගාව සම්බන්ධයෙන් සකස් කරන ලද නවතම පිරිවැය වාර්තාව කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා විසින් අනුරාධපුරයේ පැවති විශේෂ ගොවි හමුවකදී ප්‍රසිද්ධියට පත් කර ඇත. අමාත්‍යාංශ සහ ආයතන කිහිපයක එකමුුවෙන් මෙම වාර්තාව සකස් කර ඇති අතර, ඒ හරහා මෙරට ප්‍රධාන වී වර්ගවල නිෂ්පාදන වියදම් පිළිබඳ නිවැරදි තොරතුරු අනාවරණය වී තිබේ.අදාළ වාර්තාවට අනුව, රතු නාඩු වී කිලෝවක නිෂ්පාදන පිරිවැය රුපියල් 76ක් වන අතර, සුදු නාඩු වී කිලෝවක් නිෂ්පාදනය සඳහා රුපියල් 87ක වියදමක් දැරීමට සිදුවේ. එසේම, සම්බා වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 97ක් ලෙසත්, කීරි සම්බා වී කිලෝවක නිෂ්පාදන වියදම රුපියල් 119ක් ලෙසත් එමඟින් පෙන්වා දී ඇත.මෙම පිරිවැය ගණනය කිරීමේදී හෙක්ටයාරයක් සඳහා ලබා දෙන රුපියල් 30,000ක පොහොර සහනාධාරය ද සැලකිල්ලට ගෙන තිබේ. ගොවි සංවිධානවල දිගුකාලීන ඉල්ලීමක් ඉටු කරමින්, මෙම නිෂ්පාදන පිරිවැයට 30%ක සාධාරණ ලාභ ආන්තිකයක් එකතු කර අස්වැන්න සඳහා සුදුසු සහතික මිලක් නියම කිරීමට රජය පියවර ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.



























