සංචාරක ආදායම අඩු වී නැහැ, පැරණි ක්‍රමයේ දෝෂ නිවැරදි වෙලා – ඇමති විජිත හේරත්

ලංකාවේ සංචාරක ආදායමේ කිසිදු අඩුවීමක් සිදුව නොමැති බවත්, සිදුව ඇත්තේ පැරණි දෝෂ සහිත දත්ත පද්ධතිය වෙනුවට ජාත්‍යන්තරව පිළිගත් විද්‍යාත්මක ක්‍රමවේදයක් මඟින් සංචාරකයන්ගේ සැබෑ වියදම් රටාවන් නිවැරදිව අනාවරණය වීම පමණක් බවත් අමාත්‍ය විජිත හේරත් මහතා අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. රවී කරුණානායක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මීට පෙර පැවති සීමිත සාම්පල සහිත සමීක්ෂණ මඟින් කෘත්‍රිමව ඉහළ ආදායමක් පෙන්වා තිබූ බවයි. වත්මන් රජය නව ක්‍රමවේද භාවිත කිරීම නිසා විදේශීය සංචාරකයෙකු රට තුළ සැබෑ ලෙසම වියදම් කරන ඩොලර් ප්‍රමාණය නිවැරදිව හෙළි වී ඇති බවද ඔහු තහවුරු කළේය.​මෙහිදී රවී කරුණානායක මහතා අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් කියා සිටියේ, සංචාරකයින්ගේ ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් මෙරට ‘ලංකා පේ’ (LankaPay) පද්ධතිය හරහා සිදු නොවීම නිසා, බාහිර ගෙවුම් ද්වාර ඔස්සේ විදේශ විනිමයෙන් 2.5%ක් වැනි ප්‍රමාණයක් නිල නොවන මට්ටමින් රටට අහිමි වන බවයි. ඊට පිළිතුරු දුන් අමාත්‍යවරයා, වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර ඩිජිටල් යෙදවුම් සඳහා බදු අයකරන ක්‍රමවේදයක් මෙරට නොතිබීම විශාල අඩුපාඩුවක් බවත්, රවී කරුණානායක මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ පවා ඊට නිසි පියවරක් ගෙන නොතිබූ බවත් සිහිපත් කළේය.​කෙසේ වෙතත්, පසුගිය පාලකයන්ට මඟහැරුණු එම වගකීම ඉටු කරමින් සංචාරකයන්ගේ මුදල් බාහිරට ඇදී යාම වැළැක්වීම සඳහා වත්මන් රජය මේ වන විටත් තාක්ෂණික හා නීතිමය පියවර ගනිමින් සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව, ජාත්‍යන්තර ඩිජිටල් යෙදවුම්වලින් බදු අයකරන ආකාරය ඉදිරි අයවැය මඟින් සම්පූර්ණයෙන් හඳුන්වා දීමට නියමිතය. එමෙන්ම, පිටරටට ගලායන මුදල් රට තුළ රඳවා ගැනීම සඳහා ‘LankaPay’ ක්‍රමවේදය අනිවාර්ය කිරීමට අවශ්‍ය කටයුතු කඩිනමින් සූදානම් කරමින් සිටින බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය.

What's your reaction?

Related Posts

1 of 1,181

Leave A Reply

Your email address will not be published. Required fields are marked *