සංඥා භාෂා පරිවර්තකයන් සඳහා නව පත්වීම් ප්‍රදානය කෙරේ

ආබාධ සහිත පුද්ගලයන් සඳහා වන වෘත්තීය පුහුණු ආයතනවල පවතින සංඥා භාෂා පරිවර්තක පුරප්පාඩු සඳහා බඳවා ගත් නවක නිලධාරීන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (22) දින සිදු කෙරිණි. සමාජ සේවා දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැති මෙම උත්සවය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කර තිබුණි. ලිඛිත හා සම්මුඛ පරීක්ෂණවලින් ඉහළම දක්ෂතා දැක්වූ සුදුසුකම් ලත් පිරිසක් සඳහා මෙම අවස්ථාවේදී පත්වීම් ලබා දෙන ලදී.​උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා අවධාරණය කළේ, සංඥා භාෂාව සෙසු ප්‍රධාන භාෂාවන්ට සමානව සමාජය තුළ පිළිගැනීමට ලක්විය යුතු බවයි. මෙම භාෂා පරිවර්තකයන් වෙත පැවරෙන වගකීම අතිමහත් බව පෙන්වා දුන් අමාත්‍ය පන්නිල මහතා, මෙය සාමාන්‍ය රැකියාවකට වඩා ඔබ්බට ගිය මානුෂීය මෙහෙවරක් ලෙස සලකා කැපවීමෙන් කටයුතු කරන ලෙස නව පත්වීම් ලාභීන්ගෙන් ඉල්ලා සිටියේය.​මෙම අවස්ථාව සඳහා අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා සහ සමාජ සේවා අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න මහත්මිය ඇතුළු අමාත්‍යාංශයේ සහ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. ආබාධිත පුද්ගලයන්ගේ සන්නිවේදන අවශ්‍යතා සපුරාලීම සඳහා මෙම පත්වීම් ලබාදීම හරහා විශේෂිත සේවා ජාලය තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

What's your reaction?

Related Posts

1 of 1,201

Leave A Reply

Your email address will not be published. Required fields are marked *