ඉංජිනේරු සංස්ථාවට අයත් වාහන අනිසි ලෙස පරිහරණය කරමින් රජයට මූල්‍ය අලාභයක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ සහෝදරයා වන සරත් වීරවංශ මහතාව අද (15) දින රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ. කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති අතර, ඒ අනුව සැකකරු ලබන 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයේ රඳවා තැබීමට නියමිතය.මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකළ අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සැකකරු අද දින අධිකරණයට ඉදිරිපත් කෙරිණි. නීතිපතිවරයාගේ උපදෙස් මත මොහු මෙම නඩුවේ සැකකරුවකු ලෙස නම් කරන බවට මූල්‍ය අපරාධ විමර්ශන අංශය මීට පෙර, එනම් පසුගිය ජුනි මස 10 වැනිදා අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.මීට අමතරව, සිද්ධිය සම්බන්ධයෙන් පවතින විමර්ශන කටයුතු සැලකිල්ලට ගනිමින් සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මීට පෙර අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම සලකා බැලූ අධිකරණය, මීට පෙර අවස්ථාවකදී ඔහුගේ විදෙස් ගමන් සඳහා තහනමක් පැනවීමටද කටයුතු කළේය.























