හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතාව අද (01) පෙරවරුවේ බන්ධනාගාර නිලධාරීන් විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ. රජයේ ආයතන දෙකකින් වැටුප් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසුව ඔහුව මෙලෙස අධිකරණයට ඉදිරිපත් කෙරිණි.අදාළ චෝදනාවට අනුව, සුගීෂ්වර බණ්ඩාර මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාවේදී එකවර රාජ්‍ය ආයතන දෙකක තනතුරු දරමින් වැටුප් හා දීමනා ලබාගෙන ඇති බවට වාර්තා වේ. ඔහු 2022 ජූලි මස සිට 2024 පෙබරවාරි මාසය දක්වා කාලය තුළ පෞද්ගලික ලේකම්වරයා ලෙසත්, ඉන් අනතුරුව ජනාධිපති කාර්යාලයේ විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසත් සේවය කර ඇත.මෙම සේවා කාලය තුළ වැටුප් සහ දීමනා වශයෙන් ඔහු රුපියල් හැට ලක්ෂ පනස් එක් දහස් හත්සිය අනූවක් (6,051,790) පමණ මුදලක් ලබාගෙන ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මීට අමතරව, පෞද්ගලික ලේකම්වරයා ලෙස පමණක් රුපියල් දහනව ලක්ෂ තිස් තුන් දහස් හැට පහක (1,933,065) දීමනාවක් ලබාගෙන ඇති බවටද තොරතුරු වාර්තා වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර නීතිමය පියවර ගනිමින් පවතී.


























