හිටපු අටමස්ථානාධිපති හිමි DNA පරීක්ෂණයක් සඳහා රස පරීක්ෂක වෙත

බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් අද (16) කොළඹ පිහිටි රජයේ රස පරීක්ෂක කාර්යාලය වෙත ඉදිරිපත් කර තිබේ. අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගයකට අනුව නිට්ටඹුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් උන්වහන්සේව එලෙස රැගෙන ගොස් ඇත. එහිදී ඉදිරි විමර්ශන කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන DNA පරීක්ෂණයකට අදාළ රුධිර සාම්පල ලබා ගැනීම සිදු කර තිබේ.​මෙම විශේෂිත පරීක්ෂණය සිදු කිරීමට අධිකරණය තීරණය කළේ සිද්ධියට අදාළව මීට පෙර සිදු කළ විමර්ශනවලින් හමු වූ සාක්ෂි පදනම් කර ගනිමිනි. එහිදී අදාළ දැරිය සඟවා තිබූ, රුධිරය තැවරුණු බවට සැක කෙරෙන ඇඳුම්වල අන්තර්ගත ජෛව සාම්පල සමග සැකකාර හිමිනමගේ DNA සාම්පල සැසඳීම අනිවාර්ය බවට රජයේ රස පරීක්ෂකවරයා ලබා දුන් වාර්තාවක් මගින් තහවුරු කර තිබිණි. ඒ අනුව විද්‍යාත්මක සාක්ෂි ගොනු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇත.​අදාළ රුධිර සාම්පල ලබා ගැනීමෙන් අනතුරුව, ඊට අදාළ DNA පරීක්ෂණ වාර්තාව කඩිනමින් තමන් වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා රජයේ රස පරීක්ෂකවරයාට නියෝග කර තිබේ. මෙම අපයෝජන සිද්ධිය සම්බන්ධ නඩු විභාගය අනුරාධපුර අධිකරණය හමුවේ පැවැත්වෙන අතර, චෝදනා ලැබ සිටින හිටපු අටමස්ථානාධිපති හිමියන් මීට පෙර අධිකරණය විසින් දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට පියවර ගෙන තිබූ අයෙකි.

What's your reaction?

Related Posts

1 of 1,191

Leave A Reply

Your email address will not be published. Required fields are marked *