හෝමාගම මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය (ETU) නවීන තාක්ෂණය ඔස්සේ ඩිජිටල්කරණය කිරීමේ කටයුතු අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි. මීට සමගාමීව, දුරස්ථ වීඩියෝ තාක්ෂණය (Telemedicine) භාවිත කරමින් රෝගීන් පරීක්ෂා කිරීමේ සහ කළමනාකරණය කිරීමේ ක්‍රියාවලියද සක්‍රීය විය. මෙහිදී පළමු රෝගියා ඩිජිටල් ක්‍රමයට ලියාපදිංචි කිරීම සිදු කළ අතර, පාදුක්ක රෝහලේ රෝගියෙකු දුරස්ථ වීඩියෝ තාක්ෂණය හරහා පරීක්ෂා කිරීමේ සාර්ථක නිරූපණයක්ද සිදු කරන ලදී.මෙම නවීකරණය මගින් රෝහල් පද්ධතියේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමටත්, රෝහල් පිරිවැය සහ වියදම් අවම කර ගැනීමටත් අපේක්ෂා කෙරේ. දත්ත මත පදනම් වූ තීරණ ගැනීම පහසු කිරීම, පරීක්ෂණ වාර්තා කඩිනමින් හුවමාරු කර ගැනීම සහ රෝහල් ධාරිතාව උපරිම ලෙස කළමනාකරණය කර ගැනීම මෙම ක්‍රමවේදයේ ප්‍රධාන ප්‍රතිලාභ වේ. රෝගීන්ට වඩාත් වේගවත් සහ ගුණාත්මක සේවාවක් ලබා දීමට මෙය මහඟු පිටුවහලක් වනු ඇත.මෙම අවස්ථාවට ජනතා නියෝජිතයින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් මෙන්ම හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා ඇතුළු වෛද්‍ය සහ හෙද කාර්ය මණ්ඩලය එක්ව සිටියහ. තාක්ෂණික දියුණුවත් සමඟ රෝහල් පරිපාලනය සහ රෝගී සත්කාරක සේවාවන් නව මාවතකට යොමු කිරීමේ මෙම පියවර ප්‍රදේශයේ සෞඛ්‍ය සේවාවේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ.



























