රජයේ සහ පෞද්ගලික පාසල්වල 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් වෙනුවෙන් පැවැත්වෙන සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ. ඒ අනුව, 2026 ජූනි මස 22 දින සිට ජූලි මස 16 දින දක්වා මාර්ගගත (Online) ක්‍රමවේදය ඔස්සේ පමණක් අයදුම්පත් යොමු කළ හැකිය. මෙම විභාගය සඳහා සුදුසුකම් ලබනුයේ 2026 වසරේ 12 වන ශ්‍රේණියේ පසුවන, එනම් 2027 වසරේදී පළමුවරට අ.පො.ස. උසස් පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුන් පමණකි.සියලුම අයදුම්පත් අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිස ඉදිරිපත් කළ යුතු අතර කිසිදු හේතුවක් මත පෞද්ගලික අයදුම්පත් භාරගනු නොලැබේ. විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම (Username) සහ මුරපද (Password) භාවිත කරමින් පද්ධතියට ඇතුළු වී සිසුන්ගේ දත්ත නිවැරදිව ඇතුළත් කිරීමෙන් පසු, එහි මුද්‍රිත පිටපතක් ළඟ තබා ගැනීම අනිවාර්ය වන බවද දන්වා ඇත.මෙම විභාගයට අදාළව කිසියම් විමසීමක් සිදු කිරීමට අවශ්‍ය වන්නේ නම්, විභාග දෙපාර්තමේන්තුවේ 1911 ක්ෂණික ඇමතුම් අංකය මඟින් හෝ 0112784537, 0112786616, 0112784208 යන දුරකථන අංක ඔස්සේ සම්බන්ධ කරගත හැකිය. මීට අමතරව 0112784422 ෆැක්ස් අංකය මඟින් ද තොරතුරු විමසීමේ හැකියාව පවතී.



























