රට තුළ ඒකාධිපති ආඥාදායක පාලනයක් ස්ථාපිත කිරීමට රජය ගෙන යන උත්සාහය පරාජය කළ යුතු බවත්, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යනු ප්රජාතන්ත්රවාදයට එල්ල කරන ලද දැවැන්ත මරු පහරක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් පවුල් පිරිසකට නිවාස ලබා දීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන ප්‍රධාන කුළුණු වන ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අඩපණ කරමින් අධිකරණය විධායකයේ වහලකු බවට පත්කිරීමේ කුමන්ත්‍රණයක් මෙමඟින් ක්‍රියාත්මක වන බව විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. මෙය රට තුළ එක පක්ෂයක් පමණක් රජයන ක්‍රමයක් නිර්මාණය කරමින් ජනතාවගේ ප්රජාතන්ත්රවාදී ඉඩකඩ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සම්පූර්ණයෙන්ම හකුළුවා දැමීමක් බවද හෙතෙම කියා සිටියේය.පුද්ගල නිදහස මෙන්ම ලක්ෂ 220ක ජනතාවගේ දේශපාලන හා සමාජීය නිදහස තහවුරු කිරීම සඳහා සංවරණ හා තුලන යාන්ත්‍රණයන් දැඩිව ආරක්ෂා කළ යුතු බව ඔහු අවධාරණය කළේය. රටේ ප්රජාතන්ත්රවාදී අවකාශය හැකිළී යාම ස්වභාවික ව්‍යවසන තරම්ම බරපතල ඛේදවාචකයක් වන බැවින්, සියලු දෙනා එක්වී මෙම ප්රජාතන්ත්ර විරෝධී උත්සාහයට එරෙහි විය යුතු බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.මෙහිදී කාලගුණික හා දේශගුණික අභියෝග පිළිබඳවද අදහස් දැක්වූ හෙතෙම, එල් නිනෝ සහ ලානීනා වැනි තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේදී නියඟ, ගංවතුර සහ නායයෑම් වැනි ආපදා තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවිය හැකි බවට විශේෂඥයන් අනතුරු අඟවා ඇති බව පැවසීය. නියං තත්ත්වයන් නිසා ජල විදුලි ජනනය ඇතුළු ක්ෂේත්‍ර රැසකට බරපතල බලපෑම් එල්ල විය හැකි බවත්, ඊට මුහුණ දීම සඳහා මෙරට ආපදා කළමනාකරණ යාන්ත්‍රණය අලුතින් සිතා සකස් කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය.සුනාමිය සහ දිට්වා ව්‍යවසනය වැනි අත්දැකීම්වලින් නිසි පාඩම් ඉගෙන ගනිමින්, කිසිදු ඛේදවාචකයක් සිදුවීමට පෙර එහි බලපෑම අවම කර ගැනීමට හැකි නවීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම ජනාධිපතිවරයා ප්රමුඛ වත්මන් රජයේ වගකීමක් බවද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් කියා සිටියේය.



























