අධිකරණ පද්ධතියේ නඩු කටයුතු කඩිනම් කිරීම සහ ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමේ අරමුණින් සකස් කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පත් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය 07 වන දින ගැසට් කරන ලද මෙමඟින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 67 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ වයස අවුරුදු 65 දක්වාත් ඉහළ නැංවෙන අතර, අභියාචනාධිකරණ විනිසුරු සංඛ්‍යාව 24 දක්වා වැඩි කිරීමට ද යෝජනා කර ඇත. එසේම, අධිකරණ සංවිධාන පනත සංශෝධනය මඟින් මහාධිකරණ විනිසුරු විශ්‍රාම වයස අවුරුදු 63 ක් ලෙසත්, දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් වයස අවුරුදු 62 ක් ලෙසත් සංශෝධනය කරමින් මහාධිකරණ විනිසුරුවරුන් සංඛ්‍යාව 120 දක්වා වැඩිකිරීමට නියමිතය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 78 වන ව්‍යවස්ථාවට අනුකූලව දින 7 ක කාලයක් ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව අද දින පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කර ඇති මෙම කෙටුම්පත්වල පළමුවර කියවීම අද සිදු කෙරේ. ඉන් පසු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වන ව්‍යවස්ථාව යටතේ මෙහි ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කිරීම සඳහා සැප්තැම්බර් 01 වන දින දක්වා දින 14 ක කාලයක් පුරවැසියන්ට සහ සංවිධානවලට හිමි වේ.පෙත්සම් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුව කතානායකවරයා වෙත දැනුම් දෙනු ඇති අතර, සැප්තැම්බර් 22 වනදා පමණ වන විට එම තීන්දුව අපේක්ෂා කෙරේ. ඉන් අනතුරුව නජිත් ඉන්දික මහතාගේ සභාපතීත්වයෙන් යුත් ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කෙරෙන මෙම සංශෝධනවලින්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් ද, අධිකරණ සංවිධාන සංශෝධන පනත සරල බහුතරයකින් ද සම්මත කර ගැනීමට නියමිතය.



























