මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අදින් ඇරඹෙයි

මහනුවර ඇසළ මංගල්‍යයේ ප්‍රථම කුඹල් පෙරහැර අද (18) රාත්‍රීයේදී වීදි සංචාරය කරන බව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. නාථ, විෂ්ණු, කතරගම සහ පත්තිනි යන සතර මහා දේවලයන්හි කප් සිටුවීමෙන් අනතුරුව පසුගිය දින පහක කාලය තුළ අභ්‍යන්තර පෙරහැර පැවැත්වුණු අතර, පස්වන කුඹල් පෙරහැර අගෝස්තු 22 වැනි දින වීදි සංචාරය කිරීමෙන් පසු විචිත්‍රවත් රන්දෝලි පෙරහැර ආරම්භ වීමට නියමිතය.​ඒ අනුව, අගෝස්තු මස 23 වැනිදා සිට 27 වැනිදා දක්වා රන්දෝලි පෙරහැර වීදි සංචාරය කෙරෙන අතර, නිකිණි පුන් පොහෝ දින යෙදෙන 27 වැනිදා අවසන් රන්දෝලි මහ පෙරහැර ගෙවැදීම සිදු වේ. අනතුරුව, 28 වැනි දින අලුයම් කාලයේ ගැටඹේ තොටේදී දිය කැපුම් මංගල්‍යය පවත්වා එදින දහවල් පෙරහැර වීදි සංචාරය කිරීමත් සමඟ මෙවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කටයුතු නිමාවට පත්වනු ඇත.​මෙවර පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිස් නිලධාරීන්, විශේෂ කාර්ය බළකාය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්ෂක බලකාය නියෝජනය කරමින් ආරක්ෂක අංශ සාමාජිකයන් 8000 කට අධික පිරිසක් යොදවා තිබේ. පොලිස් නිල සුනඛ හා අශ්වාරෝහක අංශවල සහයෝගය ද මීට ලබා දී ඇති අතර, පෙරහැර ආරක්ෂක වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මහානායක හිමිවරුන් ද දැනුවත් කර ඇත.​පෙරහැර පැවැත්වෙන කාල සීමාව තුළ මහනුවර නගරය ආශ්‍රීව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ. ඒ යටතේ වාහන ගාල් කිරීම සඳහා විශේෂ රථ ගාල් 13 ක් ස්ථාපිත කර ඇති අතර, කටුගස්තොට, පේරාදෙණිය සහ තැන්නකුඹුර පාලම්වලින් නගරයට ඇතුළු වන ස්ථාන ආවරණය වන පරිදි මාර්ග බාධක 14 ක් යොදා දැඩි පරීක්ෂාවන් සිදු කිරීමට පොලිසිය පියවර ගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 1,292

Leave A Reply

Your email address will not be published. Required fields are marked *