ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවරදී හෙට (16) ආරම්භ වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 79 වන වාර්ෂික සමුළුව වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු දූත පිරිස අද (15) දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. මැයි 22 දක්වා පුරා දින හතක් පැවැත්වෙන මෙම නිල සංචාරයට අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ නිලධාරීන් කණ්ඩායමක්ද එක්ව සිටිති. මෙවර සමුළුවේදී ශ්‍රී ලංකා නියෝජනයට අමතරව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියාතික කලාපීය සමුළුවේ සභාපතිවරයා ලෙසද අමාත්‍යවරයා සුවිශේෂී වගකීමක් ඉටු කිරීමට නියමිතව තිබීම කැපී පෙනේ.ලබන මැයි 18 වනදා ප්‍රධාන සමුළුව ඇමතීමට නියමිත වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා, මෙම සංචාරය අතරතුර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගැනීම වෙනුවෙන්ද විශේෂ සාකච්ඡා කිහිපයකට එක්වනු ඇත. ඒ අනුව භූතානය, තායිලන්තය, බංග්ලාදේශය වැනි රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් මෙන්ම ජාත්‍යන්තර නිපොන් පදනම වැනි ප්‍රමුඛ පෙළේ සංවිධාන සමඟද විශේෂ රාජ්‍යතාන්ත්‍රික හමුවීම් රැසක් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

























