අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ නම, ඡායාරූප, කටහඬ සහ වීඩියෝ දර්ශන උපයෝගී කරගනිමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ව්‍යාජ පුවත් (Fake News) පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙස අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය මහජනතාවගෙන් හදිසි ඉල්ලීමක් කරයි. කෘත්‍රිම බුද්ධිය (AI) සහ ඩීප්ෆේක් (Deepfakes) වැනි නවීන තාක්ෂණික මෙවලම් භාවිත කරමින්, මෙරට ප්‍රමුඛ පෙළේ නිල මාධ්‍ය ආයතනවල ලාංඡන ද හොර රහසේ යොදාගනිමින් මෙම අසත්‍ය තොරතුරු සමාජගත කර ඇති බව අද (27) නිකුත් කළ විශේෂ නිවේදනයක සඳහන් වේ.රටේ ආර්ථිකය, ව්‍යාපාරික ක්ෂේත්‍රය, නව රැකියා අවස්ථා සහ වැට් ඇතුළු බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් රජය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් මෙම සංවිධානාත්මක ප්‍රචාරණ සිදුකර තිබේ. අග්‍රාමාත්‍යවරිය කිසියම් මතයක් ප්‍රකාශ කරන අයුරින් ව්‍යාජ ලෙස සකස් කළ මෙම දර්ශන මඟින් මහජනතාව මුළා කිරීමට කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පෙන්වා දෙයි.ඩිජිටල් අවකාශය පරිහරණය කිරීමේදී වඩාත් විමසිලිමත් වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය, රජයේ ප්‍රතිපත්තිවලට හානි වන අයුරින් මෙලෙස ද්වේෂසහගත ව්‍යාජ පුවත් නිර්මාණය කරන සහ ඒවා සමාජ මාධ්‍ය හරහා බෙදාහරින (Share) සියලුම පුද්ගලයන්ට සහ කණ්ඩායම්වලට එරෙහිව තරාතිරම නොබලා තදින්ම නීතිය ක්‍රියාත්මක කරන බව ද අවධාරණය කරයි.



























