පූර්ව ළමා විය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නංවමින් දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමේ පූර්ණ වගකීම රජය සතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. දරුවෙකුගේ සමස්ත අධ්‍යාපන ජීවිතයේ මූලිකම පදනම වැටෙන්නේ පෙරපාසල් අවධියේදී බැවින්, එම ක්ෂේත්‍රය නිසි ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය බව ඇය අවධාරණය කළාය.දිවයින පුරා පවතින පූර්ව ළමාවිය අධ්‍යාපන ආයතන නිසි අධීක්ෂණයකට ලක් කරමින් ජාතික මට්ටමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීමට රජය සැලසුම් කර ඇත. මේ යටතේ සියලුම පළාත් ආවරණය වන පරිදි පෙරපාසල් ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඒකාකාරී මට්ටමක පවත්වාගෙන යාමට රජයේ සෘජු දායකත්වය හිමි වනු ඇත.පෙරපාසල් ගුරුවරුන්ගේ වෘත්තීය ගැටලු විසඳීම, අධ්‍යාපන සම්පත් සාධාරණව බෙදා හැරීම සහ පවතින අඩුපාඩු මඟහරවා ගැනීම සඳහා නව නීතිමය රාමුවක් සැකසීමට අදාළ අමාත්‍යාංශ සමඟ දැනටමත් සාකච්ඡා ආරම්භ කර තිබේ. මෙම සමස්ත ක්‍රියාවලියේ ප්‍රගතිය ඇතුළත් සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරියේදී මහජනතාව වෙත නිකුත් කිරීමට ද නියමිතය.



























