මහජනතාවගේ දෛනික සාමයට සහ අවට පදිංචිකරුවන්ට බාධා වන අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර මෙන්ම විවිධ ශබ්ද උපකරණ නීත්‍යානුකූලව භාවිත කරන ලෙස ශ්‍රී ලංකා පොලිසිය ජනතාවට දැඩි ලෙස අවධාරණය කර සිටී. විශේෂයෙන්ම මෙම ශබ්ද දූෂණය හේතුවෙන් ළදරුවන්, පාසල් සිසුන්, වැඩිහිටියන් මෙන්ම රෝගීන් දැඩි සෞඛ්‍ය හා මානසික පීඩාවන්ට මුහුණ දී සිටින බව බලධාරීන් පෙන්වා දෙයි.ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අනුව මහජන පීඩාවක් ලෙස සලකනු ලබන මෙම ක්‍රියාවන් සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගන්නා අතර, සාමාන්‍යයෙන් රාත්‍රී 10.00 සිට පසුදින උදෑසන 6.00 දක්වා ශබ්ද විකාශන භාවිතය සඳහා කිසිදු අවසරයක් හිමි නොවේ. කෙසේ වෙතත්, ආගමික හෝ විශේෂ උත්සව අවස්ථාවන් සඳහා පමණක් සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 10.00 දක්වාත්, සිකුරාදා සහ සෙනසුරාදා දිනවල අලුයම 1.00 දක්වාත්, ඉරිදා දිනවල අලුයම 12.30 දක්වාත් පොලිස් අවසරය මත කාලසීමාවන් හිමිවුවද, එම ශබ්දය අදාළ පරිශ්‍රයට පමණක් සීමා කිරීම අනිවාර්ය වේ.මෙම නීතිමය කොන්දේසි උල්ලංඝනය කරමින් හෝ අනතුරු ඇඟවීම් නොතකා දිගින් දිගටම අධික ශබ්ද නිකුත් කරන පාර්ශ්වයන්ට එරෙහිව, අදාළ උපකරණ පොලිස් භාරයට ගැනීම ඇතුළු දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිසිය පවසයි. එබැවින්, නීතිවිරෝධී ලෙස අධික ශබ්ද පවත්වාගෙන යෑමක් පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ 118 / 119 හදිසි ඇමතුම් අංක වෙත වහාම දැනුම් දෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

























