අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, කැබිතිගොල්ලෑව, හොරොව්පතාන සහ කහටගස්දිගිලිය යන ප්‍රදේශවල පවතින දීර්ඝකාලීන වකුගඩු රෝගී තත්ත්වයට ස්ථිර විසඳුමක් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන “අනුරාධපුර උතුර ජල සම්පාදන ව්‍යාපෘතියේ දෙවන අදියර” ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ නිල වශයෙන් ආරම්භ විය. ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ (JICA) සහ ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක වන මෙමඟින් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 4ක ග්‍රාම නිලධාරී වසම් 164ක පවුල් 67,000කට පිරිසිදු පානීය ජලය සැපයීමට නියමිතය. රුපියල් බිලියන 51ක වියදමින් ඉදිවන මෙය කිලෝමීටර් 1,500ක නළ පද්ධතියකින් සමන්විත මෙරට දෙවන විශාලතම ජල ව්‍යාපෘතියයි.මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා අවධාරණය කළේ 1990 දශකයේ සිට පවතින හඳුනානොගත් වකුගඩු රෝගයට ප්‍රධානතම හේතුව පිරිසිදු පානීය ජලය නොමැතිකම බැවින්, මෙම ව්‍යාපෘතිය හුදු යටිතල පහසුකම් සංවර්ධනයක් නොව ජනතාවගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමක් බවයි. වත්මන් රජය ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරමින් ඔවුන්ට ඉහළ සමාජ වටිනාකමක් සහ ගෞරවයක් ලබාදීමට කැපවී සිටින බව පැවසූ ඒ මහතා, පොහොර සහනාධාරය රුපියල් 30,000 දක්වා දෙගුණ කිරීම, සුළි කුණාටු වන්දි කඩිනම් කිරීම සහ වී මිලදී ගැනීම සඳහා ඉතිහාසයේ වැඩිම ප්‍රතිපාදන වෙන් කිරීම හරහා රජය එය ප්‍රායෝගිකව ඔප්පු කර ඇති බවද පෙන්වා දුන්නේය.රටේ සමස්ත ජනගහනයෙන් තවමත් නළ ජල පහසුකම් ලැබී ඇත්තේ 60%කට පමණක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, එම තත්ත්වය වෙනස් කරමින් ලබන වසරේදී රුපියල් කෝටි 2,000ක ආයෝජනයකින් නව ජල ව්‍යාපෘති 22ක වැඩකටයුතු ආරම්භ කරන බව ප්‍රකාශ කළේය. එමඟින් අලුතින් පවුල් ලක්ෂ 10කට ආසන්න ප්‍රමාණයකට පිරිසිදු පානීය ජලය ලබාදීමට සැලසුම් සකස් කර ඇත. මීට අමතරව කෘෂිකාර්මික පුනර්ජීවනය උදෙසා පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය රුපියල් කෝටි 4,000ක වියදමින් මේ වසරේදී නැවත ආරම්භ කරන අතර, අතරමඟ නැවතී තිබූ උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතියද කඩිනමින් අවසන් කර මහකනදරා වැවට ජලය රැගෙන ඒමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.ග්‍රාමීය ජනතාව චක්‍රීය දුප්පත්කමෙන් මුදවා ගැනීමට නම් අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් අවශ්‍ය බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ලබන වසරේ සිට 06 ශ්‍රේණියෙන් ආරම්භ වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරන බවත්, 2032 වසර වන විට වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 50ක් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවත් පැවසීය. සෞඛ්‍ය ක්ෂේත්‍රය නංවාලීම වෙනුවෙන් 2027 වසරේදී රෝහල් සඳහා අවශ්‍ය සියලුම ගිලන් රථ ලබාදීමට මුදල් වෙන් කරන අතර, රෝග කලින් හඳුනාගැනීම සඳහා අවශ්‍ය නවීන තාක්ෂණික උපකරණ සෞඛ්‍ය පද්ධතියට එක් කිරීමටත්, ලබන වසරේදී අලුතින් රුධිර කාන්දුකරණ (Dialysis) මධ්‍යස්ථාන 10ක් ස්ථාපිත කිරීමටත් පියවර ගන්නා බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.මෙම අවස්ථාවට එක්වූ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ සහ නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ යන මහත්වරුන් ප්‍රකාශ කළේ, දුෂ්කරතා සහ වකුගඩු රෝග ලේබලය මේ ප්‍රදේශවලින් සදහටම තුරන් කිරීම රජයේ අරමුණ බවයි. තඹුත්තේගම ජල ව්‍යාපෘතිය අද සවස ජනතා අයිතියට පත් කරන බවත්, ඉදිරි සති කිහිපය තුළ ලග්ගල, පොල්ගහවෙල, පොතුහැර සහ පාතදුම්බර වැනි දැවැන්ත ජල ව්‍යාපෘති රැසක් ජනතාවට දායාද කිරීමට කටයුතු සූදානම් කර ඇති බවත් අමාත්‍යවරුන් මෙහිදී අනාවරණය කළහ.ශ්‍රී ලංකාවේ වැඩබලන ජපාන තානාපති කාමොෂිඩා නාඕකි (KAMOSHIDA Naoaki) සහ ජයිකා (JICA) ආයතනයේ ප්‍රධාන නියෝජිත කුරොනුමා කෙන්ජි (Kuronuma Kenji) යන මහත්වරුන් සඳහන් කළේ, 2022 වසරේ ඇතිවූ ණය අර්බුදය හේතුවෙන් තාවකාලිකව නැවතුණු මෙම ව්‍යාපෘති, 2024 ජූලි මස ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවබෝධතා ගිවිසුමෙන් පසු ජපානය විසින් නැවත ආරම්භ කළ පළමු සහනදායී ණය ව්‍යාපෘතිය මෙය වන බවයි. කටුනායක ගුවන් තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියද එළඹෙන ඔක්තෝබර්-නොවැම්බර් මාසවලදී යළි ආරම්භ කිරීමට ටෙන්ඩර් කැඳවා ඇති බවත්, ලාංකීය ආර්ථිකය ස්ථාවර කිරීම වෙනුවෙන් ජපානය සැමවිටම ශක්තිමත් හවුල්කරුවෙකු ලෙස කටයුතු කරන බවත් ඔවුහු වැඩිදුරටත් පැවසූහ.























