සවුදි අරාබියේදී ශ්රී ලාංකික ජාතික අනෝජන් සිවරාසා (Anojan Sivarasa) නමැත්තාට පනවා තිබූ මරණ දණ්ඩනය සවුදි අරාබි ශ්රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කර ඇති බව විදේශ කටයුතු නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා නිවේදනය කරයි. සමාජ මාධ්ය ඔස්සේ ප්රකාශයක් නිකුත් කරමින් නියෝජ්ය අමාත්යවරයා සඳහන් කළේ, 2026 ඔක්තෝබර් 13 වන දින අදාළ මරණ දඬුවම අහෝසි කරමින් සවුදි ශ්රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දී ඇති බවයි.ශ්රී ලංකා රජය විසින් සිදුකරන ලද අඛණ්ඩ රාජ්යතාන්ත්රික හා නෛතික උත්සාහයන්හි ප්රතිඵලයක් ලෙස මෙම තීරණය ලැබී ඇති අතර, එය සිවරාසා මහතාට ලැබුණු විශාල සැනසීමක් බව හේමචන්ද්ර මහතා විස්තර කළේය. මෙම කරුණ සම්බන්ධයෙන් සවුදි අරාබි රජය දැක්වූ සහයෝගය පිළිබඳවද සිය ඇගයීම පළ කළ ඒ මහතා, ශ්රී ලංකා තානාපතිවරයා, විදේශ කටයුතු අමාත්යාංශයේ ලේකම්වරයා සහ නිලධාරීන්, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපතිවරයා සහ සාමාජිකයින් මෙන්ම ශ්රී ලංකා සහ සවුදි නීති කණ්ඩායම් දැක්වූ දායකත්වයටද සිය ස්තූතිය පුද කර සිටියේය.



























