අම්පාර රෝහලේ සේවය කළ 33 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචි භෞතචිකිත්සකවරියකගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් මේ වන විට පුළුල් විමර්ශන මාලාවක් ක්‍රියාත්මක වේ. පසුගිය 17 වන දින තෙල්දෙණිය රෝහල අසල නවතා තිබූ මෝටර් රථයක තිබී ඇගේ සිරුර සොයාගෙන ඇති අතර, සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මරණයට හේතුව සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ප්‍රකාශ කර ඇත. මියගිය තැනැත්තිය ජුනි 03 සිට 16 දක්වා කාලය තුළ නුවරඑළියේ සංචාරයක නිරත වී ඇති බවද විමර්ශනවලින් තහවුරු වී තිබේ.මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස හඳුනාගෙන ඇති කුරුණෑගල, නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ කණ්ඩායම් හතරක් යොදවා ඇත. දූෂණ හා වංචා සම්බන්ධ නඩු 20කට අධික සංඛ්‍යාවක් ඔහුට එරෙහිව පවතින බවත්, ඔහු මෘදුකාංග ඉංජිනේරුවෙකු ලෙස පෙනී සිටිමින් ව්‍යාජ හැඳුනුම්පත් භාවිතා කර ඇති බවත් අනාවරණය වී තිබේ. සැකකරු කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ සබඳතා පවත්වමින් වංචනික ක්‍රියාවල නිරත වී ඇති බවට තොරතුරු ලැබී ඇත.සිද්ධියට අදාළව සැකකරුගේ පවුලේ සාමාජිකයන්ගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, සිරුර හමුවූ මෝටර් රථය ඔහු සමඟ සබඳතාවක් පැවැත්වූ වෙනත් කාන්තාවකට අයත් බව හෙළි වී ඇත. සැකකරු සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක වන අතර, ඔහු අත්අඩංගුවට ගැනීමෙන් පසු සිද්ධිය සම්බන්ධ වැඩිදුර කරුණු අනාවරණය කර ගැනීමට පොලිසිය බලාපොරොත්තු වේ. මියගිය තැනැත්තියගේ දේහය මේ වන විට පවුලේ ඥාතීන් වෙත භාර දී අවසන්ය.



























