දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන තද වැසි තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) විසින් දිස්ත්‍රික්ක හයකට අදාළව නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනය කර ඇත. අද (11) පස්වරුවේ සිට හෙට (12) පස්වරු 4:00 දක්වා පැය 24 ක කාලයක් සඳහා මෙම නියෝග බලාත්මක වේ. විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය වෙත දෙවන මට්ටමේ (Amber) අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බැවින් එම ප්‍රදේශවාසීන් දැඩි අවදානයකින් පසුවිය යුතුය.මීට අමතරව දිස්ත්‍රික්ක පහක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පළමු මට්ටමේ විමසිලිමත් වීමේ නිවේදන නිකුත් කර තිබේ. ඒ අනුව කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම සහ මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, නාඋල, අඹන්ගඟ කෝරළය යන ප්‍රදේශ මේ යටතට ඇතුළත් වේ. බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල ප්‍රදේශයටද මෙම අනතුරු ඇඟවීම අදාළ වන පරිදි නිකුත් කර ඇත.මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය සහ බඩල්කුඹුර යන ප්‍රදේශ මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවෙල, කලවාන සහ රත්නපුර නගර සීමා ආශ්‍රිත ජනතාවට ද නායයෑමේ අවදානම පිළිබඳව සැළකිලිමත් වන ලෙස උපදෙස් දී තිබේ. කඳු බෑවුම් හා පස් කණ්ඩි ආශ්‍රිතව ජීවත්වන ජනතාව නායයෑමේ පූර්ව ලක්ෂණ නිරීක්ෂණය කරන්නේ නම් වහාම ආරක්ෂිත ස්ථාන කරා යොමු වීමට පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ.

























