දැනට දිවයින පුරා සිරවී පවතින ප්‍රමාද වූ රස පරීක්ෂක වාර්තා 9,000ක කටයුතු මේ මාසය තුළ සම්පූර්ණයෙන්ම අවසන් කර අදාළ අධිකරණ වෙත යැවීමට කඩිනම් පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. පල්ලන්සේන බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම වැදගත් තොරතුරු අනාවරණය කළේය.බන්ධනාගාර තුළ පවතින අධික තදබදය අවම කිරීම මෙන්ම රැඳවියන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් විශේෂ කමිටුවක් පත් කර ඇති බව ඔහු සඳහන් කළේය. ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් අතර, බන්ධනාගාරගත රැඳවියන්ගේ ආහාර, සනීපාරක්ෂාව සහ ඔවුන් මුහුණපාන ගැටලු පිළිබඳව එහිදී සෘජුවම සොයා බලා ඇත.රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම නිසා දිගු කාලයක් බන්ධනාගාර තුළ සිරවී සිටින පිරිස් කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කර ඔවුන් යළි සමාජගත කිරීමට අවශ්‍ය පසුබිම සකස් කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය. ඉදිරියේදී දිවයිනේ අනෙකුත් බන්ධනාගාරද නිරීක්ෂණය කරමින් රැඳවියන්ගේ මෙන්ම නිලධාරීන්ගේ ගැටලු විසඳීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය.



























