ඉන්දියාවේ පළමු ඩෙංගු එන්නතට නිල අනුමැතිය හිමිවෙයි

ඉන්දියාවේ භාවිතය සඳහා අනුමත කළ ප්‍රථම ඩෙංගු එන්නත ලෙස ජපානයේ ටකේඩා (Takeda) සමාගම නිපදවූ ‘Qdenga’ එන්නතට එරට ඖෂධ පාලක ජනරාල්වරයාගේ (DCGI) අනුමැතිය හිමිව තිබේ. වයස අවුරුදු 4 ත් 60 ත් අතර පසුවන ඕනෑම අයෙකුට ලබාගත හැකි මෙම එන්නත, මීට පෙර ඩෙංගු වැළඳී ඇත්දැයි සොයා බැලීමේ පූර්ව පරීක්ෂණයකින් තොරවම ලබා දිය හැකි වීම විශේෂත්වයකි. මාත්‍රා දෙකකින් සමන්විත මෙය පළමු එන්නත ලබා දී මාස තුනකට පසුව දෙවන මාත්‍රාව ලෙස ලබා දිය යුතුය.​ඩෙංගු වෛරසයේ ප්‍රධාන ප්‍රභේද හතරටම (DENV-1, DENV-2, DENV-3, DENV-4) එරෙහිව සාර්ථකව ක්‍රියා කරන මෙම එන්නත, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පූර්ව සුදුසුකම් ප්‍රමිතීන්ට අනුකූල වේ. රටවල් කිහිපයක පුද්ගලයන් 28,000කට අධික පිරිසක් යොදාගනිමින් සිදු කළ සායනික පරීක්ෂණ මගින් මෙහි ඉහළ කාර්යක්ෂමතාව සහ ආරක්ෂිත බව තහවුරු කර ඇත. දැනටමත් ලොව පුරා රටවල් 43 ක භාවිත වන මෙම එන්නතේ මාත්‍රා මිලියන 32 කට වඩා ගෝලීය වශයෙන් බෙදා හැර තිබේ.​ලෝක ව්‍යාප්ත ඩෙංගු රෝගීන්ගෙන් තුනෙන් එකක්ම වාර්තා වන්නේ ඉන්දියාවෙන් වන අතර, පසුගිය වසර විස්ස තුළ එරට ඩෙංගු ව්‍යාප්තිය එකොළොස් ගුණයකින් ඉහළ ගොස් ඇත. මෙම දැඩි සෞඛ්‍ය අභියෝගයට පිළියමක් ලෙස ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පිහිටි ‘Biological E’ සමාගම සමග එක්ව වසරකට මෙම එන්නත් මාත්‍රා මිලියන 50 ක් නිෂ්පාදනය කිරීමට ජපාන ටකේඩා සමාගම දැනටමත් සැලසුම් කර ඇත.

What's your reaction?

Related Posts

1 of 867

Leave A Reply

Your email address will not be published. Required fields are marked *